මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දුන් විධායක නියෝගයට විරෝධය පළ කරමින් දස දහස් ගණනක් දෙනා වීදි බැස ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

නිව්යෝක්, වොෂින්ටන්, බොස්ටන් ඇතුළු ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල ද උද්ඝෝෂණ පැවැත්වෙන අතර උද්ඝෝෂකයන් ගුවන් තොටුපොළවලට, රේගුවට සහ දේශ සීමා ආරක්ෂක අංශ සිටින ස්ථානවලට කඩා වැදුණු බව ද වාර්තා විය. උද්ඝෝෂණ ක්‍රමයෙන් වර්ධනය වන බව ද එම වාර්තාවල දැක්විණි. 

සිරියානු සරණාගතයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් සහ සිරියාව ඇතුළුව ඉරාකය, ඉරානය සහ තවත් රටවල් හතරකට ජාතික ආරක්ෂාව පදනම්  කරගෙන ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පසුගියදා විධායක නියෝගයක් දුන්නේය.

එම විධායක නියෝගයත් සමඟ ඇමෙරිකා ගුවන් තොටුපොළවල් වෙත පැමිණි දහස් ගණනක් මුස්ලිම් ජාතික වැසියන් රඳවාගැනීමටත් රටින් පිට කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබිණි.

ට්‍රම්ප් මහතාගේ නියෝගය ඇමෙරිකාවට ආවේණික නොවූවක් බවත් එය රටේ මූලික අගනාකම්වලට විරුද්ධ නියෝගයක් බවත් ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභික චාර්ලස් ෂූමර් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසීය. 

වොෂින්ටන් නුවරට රැස් වූ දහස් ගණනක් දෙනා “වෛරය එපා, බිය එපා, ඇමෙරිකාව සරණාගතයන් පිළිගන්නවා” යන සටන් පාඨ කියන්නට වූහ.

මේ වන විට ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දිවුරුම් දුන් දිනයත් ඇතුළුව එක දිග සති අන්ත දෙකකදී ඔහුට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.

348374503_RC170E112470_21995643 download-(1) download-(2)