කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවර බලා අද (24) ගමන් ඇරඹීය. 

උතුරු කොරියානු නායකයා වියට්නාමයේ හැනෝයි නුවර බලා ගමන් ගන්නේ දුම්රියෙනි. එම දුම්රිය චීනය හරහා ගමන් ගනී. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් සවිස්තර විස්තර කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැත. 

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හැනෝයි නුවරදී මුණ ගැසෙන්නේ සිය ඓතිහාසික සිංගප්පූරූ හමුවෙන් මාස අටකට පසුය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය වසරේ ජූනි මාසයේදී එම හමුව පැවැත්විණි. ඇමෙරිකා ජනාධිපතිවරයකු සහ උතුරු කොරියානු නායකයකු අතර හමුවක් පැවැති පළමු අවස්ථාව එය විය. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සිංගප්පූරුවේ පැවැති හමුවෙන් පසු කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සීමිත යැයි පැවසේ. ඒ නිසා නායකයන් දෙදෙනා අතර මෙවර හමුවේදී උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරීම කෙරෙහිත් ඇමෙරිකාව ඒ වෙනුවෙන් උතුරු කොරියාවට සහන ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ. 

රොයිටර් ඇසුරිනි

055