අවදානම වැඩි යැයි හඳුනාගත් රටවල් 11ක සරණාගතයන්ට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ස්ථාපිත වීමට අවසර දීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.

එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි වීම සඳහා ඉල්ලුම් කළ සරණාගතයන්ගේ අයදුම්පත්‍ර සලකා බැලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බව ද ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර තිබේ.

සරණාගතයන්ට අවසර දීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීම වැඩි වශයෙන් බලපා ඇත්තේ මැද පෙරදිග සහ අප්‍රිකානු රටවලටය. එපමණක් නොව එක්සත් ජනපදයේ නැවත පදිංචි කර තිබෙන සරණාගතයන්ට ඔවුන්ගේ පවුල් හා යළි එකතු කිරීමේ වැඩසටහන ද තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

සරණාගතයන්ට අවසර දීමේ සහ නැවත පදිංචි කරන ලද සරණාගතයන් හා ඔවුන්ගේ පවුල් එක් කිරීමේ වැඩසටහන් තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය එරට කොංග්‍රසයට අදාළ ලියකියවිලි යවා ඇතැයි ද වාර්තා විය.

ජාතික ආරක්ෂාව ගැන සලකමින් මෙම ප්‍රමාද කිරීම සිදු කරන බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් මෙම තීරණය මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා සරණාගතයන්ට ඇමෙරිකාවට පිවිසීම දින 120කට තහනම් කරමින් නිකුත් කළ විධායක නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමක් යැයි සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් පෙන්වාදෙති.

සරණාගතයන්ට ඇමෙරිකාව තුළ ස්ථාපිත වීමට අවසර දීමේදී දීර්ඝ හා දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙන බැවින් මෙලෙස තවදුරටත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද කිරීම අනවශ්‍ය යැයි ද ඔවුහු පෙන්වාදෙති.

 (රොයිටර්-055)