ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාව හරහා නීතිවිරෝධීව ඇමෙරිකාවට පැමිණෙන කිසිදු සංක්‍රමණියකුට රැකවරණ ලබානොදීමට ‘ට්‍රම්ප් පරිපාලනය’ ගන්නා ලද තීරණයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.   

          
ඇමෙරිකා-මෙක්සිකෝව දේශසීමාව හරහා නීතිවිරෝධීව ඇමෙරිකාවට පැමිණෙන කිසිදු සංක්‍රමණියකුට රැකවරණ ලබානොදීමට ට්‍රම්ප් පරිපාලනය නොවැම්බර් 9 වැනිදා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේය.  
                                       
ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ අධිකරණ එම තීරණය අත්හිටුවන්නැයි නියෝග දුන්නේය.      
                           
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ පරිපාලනය එම තීන්දුව ගත්තේ දේශසීමා ආරක්ෂාව සහ නීතිවිරෝධී, අනතුරු සහ අවදානම් සහිත දේශසීමා හරහා ගමන් කිරීම අධෛර්යමත් කිරීමට යැයි සඳහන් කරමින් සොලිසිටර් ජෙනරාල් නොයෙල් ෆ්‍රැන්සිස්කෝ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.                                                         
ජනාධිපතිවරයා ගන්නා ලද තීන්දුව ඉදිරියට ගෙන යෑමට ඉඩ දෙන්නැයි ඔහු එම පෙත්සමෙන් ඉල්ලා සිටියේය.    
                       
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනකු ඉදිරියේ එම පෙත්සම විභාගයට ගැනිණි. ට්‍රම්ප් පරිපාලනය ගන්නා ලද තීරණය ප්‍රතික්ෂේප කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් සහ තවත් විනිසුරු පස්දෙනෙක් තීරණය කළහ. ඉතිරි විනිසුරු ඊට ප්‍රතිපක්ෂව සිටියහ.    
                                 
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මතයක් ඉදිරිපත් නොකළ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණ ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අත්හිටුවමින් දුන් තීන්දු ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු යැයි නියෝග කළේය. 

             
බී.බී.සී ඇසුරිනි  
                                           
(055)