හංගේරියාවේ බුඩපාස්ට් නුවර පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවට, තමන් ද සහභාගී වීමට කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

හංගේරියාවේ මෙම හමුව පැවැත්වෙන්නේ රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීම සහ සාම වැඩපිළිවෙළකට යෑම අරමුණු කර ගනිමිනි. ට්‍රම්ප් සහ පුටින් තමන්ට ආරාධනා කරන්නේ නම්, තමන් ද හංගේරියාවේ පැවැත්වෙන සමුළුවට සහභාගී වන බවත්, යුද්ධය නැවැත්වීම සඳහා පුටින් සමඟ සාකච්ඡා කරන බවත් සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.

හංගේරියා අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් රුසියන් හිතවාදියෙකි. රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවන්නේ යුක්රේනය සහ යුක්රේනයට හිතවත් බටහිර යුරෝපා රටවල් යුද්ධය නැවැත්වීමට උනන්දුවක් නොදක්වන නිසා යැයි හංගේරියා අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් නිරන්තරයෙන් චෝදනා නගා ඇත.

යුද්ධය නවත්වා සාම වැඩපිළිවෙළකට යෑම වෙනුවෙන් තමන්ට මැදිහත් වීමට ඉඩ ලැබීම ගැන තමන් සතුටු වන බවත්, ට්‍රම්ප් සහ පුටින් හමුවකට තමන් සියලු කටයුතු සූදානම් කරන බවත් හංගේරියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.