රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් ආරම්භ කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැත්වීමට නියමිත හමුව දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

හමුව පැවැත්වීමට ට්‍රම්ප් සහ පුටින් අතරේ එකඟතාවක් ඇතිකර ගැණුනේ පසුගිය සතියේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ පැවැති දුරකතන කතාබහකින් අනතුරුවය. 

හමුව, හංගේරියාවේ බුඩපෙස්ට් අගනුවරදී පැවැත්වීමට ද තීරණය කෙරුණි. එම දුරකතන හමුවෙන් පසු ට්‍රම්ප් කියා සිටියේ, ඉදිරි සති දෙකක් ඇතුළත හමුව සිදුවනු ඇති බවය.

කෙසේ නමුත්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ හමුව පැවැත්වීමට කල්ගත වනු ඇති බවත්, හමුව පැවැත්වෙන්නේ කවදාදැයි නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි බවත්ය. රුසියාව මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, සටන් විරාමයකට යෑම සහ සාම වැඩපිළිවෙළකට යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කඩිමුඩියේ කළ නොහැකි බැවින්, හමුව පැවැත්වීමට කල්ගත වනු ඇති බවය.

හංගේරියාවේ බුඩපාස්ට් නුවර පැවැත්වීමට නියමිත ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවට, තමන් ද සහභාගී වීමට කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී  පවසා තිබුණි. හංගේරියා අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් රුසියන් හිතවාදියෙකි.

රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවන්නේ යුක්රේනය සහ යුක්රේනයට හිතවත් බටහිර යුරෝපා රටවල් යුද්ධය නැවැත්වීමට උනන්දුවක් නොදක්වන නිසා යැයි හංගේරියා අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් නිරන්තරයෙන් චෝදනා නගා ඇත. යුද්ධය නවත්වා සාම වැඩපිළිවෙළකට යෑම වෙනුවෙන් තමන්ට මැදිහත් වීමට ඉඩ ලැබීම ගැන තමන් සතුටු වන බවත්, ට්‍රම්ප් සහ පුටින් හමුවකට තමන් සියලු කටයුතු සූදානම් කරන බවත් හංගේරියානු අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණි.