එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට අකරතැබ්බකට මුහුණ පෑමට සිදුවිය.

මැක්රොන් නිව්යෝක් නුවර ප්‍රංශ තානාපති කාර්යාලය බලා සිය ආරක්ෂකයන් ද සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිද්දී, නිව්යෝක් පොලිස් නිලධාරීන් මෝටර් රථය නවත්වා ඇත. ඒ මාර්ගයේ සෙසු වාහන ද සමඟය.

ඉදිරියට යා නොහැකි බව පොලිසිය පැවැසූ අවස්ථාවේදී සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට මැක්රොන් මෝටර් රථයෙන් එළියට බැස, පොලිස් නිලධාරීන් සමඟ කතාබහ කළේය.

පොලිස් නිලධාරීන් මැක්රොන්ට පවසන්නේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පෙළපාළිය ඉදිරියෙන් ගමන් කරන බැවින්, සෙසු වාහන ධාවනය තාවකාලිකව නැවැත්වීමට සිදුවුණු බවය. මෙම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

එම අවස්ථාවේදී මැක්රොන් සිය ජංගම දුරකතනයෙන් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට ඇමතුමක් ද ගත්තේය. ඒ, තමන් මාර්ගයේ සිරවී සිටින බව ද පවසමිනි.