ජපාන සංචාරය අවසන් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) දකුණු කොරියාව බලා පැමිණියේය. මෙය ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ ආසියානු සංචාරයේ අවසන් නැවතුම ද වෙයි.

දකුණු කොරියානු ජනාධිපති ලී ජේයි මුයුංග්ගෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා, ට්‍රම්ප් කැටුව, ගෙයොංග්ගු ජාතික කෞතුකාගාරය නැරැඹීමට ද ගියේය.

කෞතුකාගාරයට පැමිණි ට්‍රම්ප් මහ ඉහළින් පිළිගැනුණි. දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය ද ට්‍රම්ප්ට පිරිනැමීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නය ඇගයීමට ලක් කරමිණි.

දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයට අනුව, මෙම සම්මානය ලැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප්ය.

ඊට අමතරව, සිල්ලා යුගයට අයත් චියොන්මචොන්ග්හි රන් කිරුළේ විශේෂයෙන් රන් ආලේපිත අනුරුවක් ද ට්‍රම්ප්ට පිරිනැමීම සිදුවිය. කොරියාවේ ඉතිරිව ඇති පුරාණ කිරුළ අතරින් උසම, පළලම සහ වඩාත්ම අලංකාර ලෙස සැලකෙන කෞතුක වස්තුව ලෙස චියොන්මචොන්ග් කිරුළ සැලකෙයි.

ට්‍රම්ප් දකුණු කොරියාවට පැමිණියේ ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගීවීමේ අරමුණින්ය. චීන ජනාධිපති ෂී ජින්පින් ද මෙම සමුළුවට සහභාගී වෙයි. ට්‍රම්ප් සහ චීන ජනාධිපතිවරයා අතරේ මුහුණට මුහුණ හමුවක් ද සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතය.

ඇමෙරිකාවත්, චීනයත් අතරේ වෙළෙඳ යුද්ධයක් පවතී. ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනවීම් කර ඇත. ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතරේ හමුව පැවත්වෙන්නේ මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමටය.