ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25) එරට පාර්ලිමේන්තුව (කොංග්‍රස් මණ්ඩලය) හමුවේ සිය වාර්ෂික ප්‍රතිපත්ති කතාව පැවැත්වීය. තමන් දෙවැනි ධුරය ආරම්භ කිරීමට පෙර, ඇමෙරිකාව මළ රාජ්‍යයක්  බවත්, ඊට නව පණක් දීමට තමන්ට හැකිවුණු බවත් ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රතිපත්ති කතාවේ දී පෙන්වා දුන්නේය.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විත වෙයි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළේ 2024 ජනවාරියේය.

ජනාධිපති ධුරයට පත්වුණු සැණින්, ඇමෙරිකාවට මුල් තැන දී ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන යෑමට ට්‍රම්ප් විධායක නියෝග රැසකට ද අස්සන් තැබීය.

ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකකි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. ප්‍රතිවාදීන් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. ට්‍රම්ප් සිය කතාව ආරම්භ කරද්දී, ඊට අප්‍රසාදය පළ කරමින්, ඩිමොක්‍රික් මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටවී ගිය බව ද පැවැසෙයි. ඒ, ට්‍රම්ප්ගේ දෙස් විදෙස් ප්‍රතිපත්තිවලට විරෝධය පළ කිරීමක් වශයෙනි.

ට්‍රම්ප් ඔහු විසින් පනවා ඇති තීරු බදු ගැන කතා කළේ එම තීරු බදු හේතුවෙන් තමන්ට ඇමෙරිකානුවන්ගේ බදු අඩු කිරීමට හැකි වන බව පෙන්වා දෙමිනි. තීරු බදුවලින් ලැබෙන මුදල ඇමෙරිකානුවන් වෙනුනේ යොදවන බව ද ට්‍රම්ප් සිය කතාවේ දී පෙන්වා දුන්නේය.

ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරයකුගේ ධුර කාලය, ධුර කාල දෙකකට සීමා වෙයි. ඒ, සිවු වසරක් බැගිනි. එම කාලසීමා වෙනස් කිරීමට ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි ද ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැවැසීය. 

අනවසර සංක්‍රමණියකයන්ට එරෙහිව ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බව ද ට්‍රම්ප් සිය කතාවේ දී පැහැදිලි කළේය. එම අවස්ථාවේදී අහිංසකයන් මරා දමනවා යැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් කෑ කෝ ගසමින් ට්‍රම්ප්ට බාධා කිරීමට උත්සාහ ගත්තේය.

ඇමෙරිකන් ආගමන විගමන නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සිදුවෙයි. එසේ අත්අඩංගුවට ගැනීම්වලදී එම නිලධාරීන්ගේ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් කීප දෙනකු ජීවිතක්ෂයට පත් වීම ඊට හේතුවය.

විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දහස් දක්වමින් ට්‍රම්ප් ඉරානය ගැන අදහස් දැක්වූයේ ඉරානය ඇමෙරිකාවේ කීමට යටත් නොවන්නේ නම්, ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට සිදුවෙන බව පෙන්වා දෙමිනි.

ඊට අමතරව ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ ඉකුත් වසරේ හටගත් යුදමය තත්ත්වය ගැන ද ට්‍රම්ප් අදහස් දැක්වීමක් කළේය. තමන් ඊට මැදිහත් නොවී, යුද්ධය සුරදිග යෑම නොවැළැක්වූවා නම්, මිලියන 25 ක පමණ පිරිසකට දිවි අහිමි වීමට ඉඩ තිබුණේ යැයි ද ට්‍රම්ප් පැහැදිලි කළේය.