පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයට අනවසරයෙන් ඇතුළුවීමට තැත්කළැයි ආරක්ෂක අංශ බාරයට ගත් ට්‍රක් රථයේ තිබී හමුවූ මළ සිරුරු 39යෙන්, 16ක් වියට්නාමයට යැවූ බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සිරුරු අද(27) අලුයම හැනෝයිහි නොයිබා ගුවන්තොටුපළට රැගෙන ආ බවත්, නගේ අන්, හා ටින් සහ ක්වාං බින් යන පළාත්වල වෙසෙන මිය ගිය පිරිසකගේ ඥාතීන්ගේ නිවෙස්වලට ගෙන ගිය බවත් වියට්නාම බලධාරීහු පවසති.

ඉතිරි මළ සිරුරු ගෙන්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය නිලධාරීන් හා සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවද ඔවුහු සඳහන් කරති.

මෙම සංක්‍රමණිකයන් ප්‍රවාහනය කළ ට්‍රක් රථ රියදුරු, මොරිස් රොබින්සන් පසුගියදා ලන්ඩන් අධිකරණයේදී වරද පිළිගෙන ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)