ටැන්සානියාවේ උතුරු දිග ක්‍රීඩා භූමියක දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේ සිදුවූ කලබලයකින් 20දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර කුඩා දරුවන් පස්දෙනකු ද සිටින බව සඳහන් වේ.

කිළිමන්ජාරෝ කඳු බෑවුම අසල පිහිටි මෝෂි නගරයේ පැවැත්වුණු මෙම දේව මෙහෙය සඳහා සියගනනක් පිරිස් රැස්වී සිටියහ.

සෞභාග්‍යය සහ රෝග සුවය පතා බොහෝදෙනකු මෙම පූජාවට සහභාගී වී ඇති බවත් "ආශිර්වාද තෙල්" වලින් අභිෂේක කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම කලබලය සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

මිය ගිය ගණන තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බව බලධාරීහු පවසති.

මිලියන 55ක් පමණ වන ටැන්සානියාවේ බොහෝ ජනයා දිළිඳුකමින් පීඩා විඳින අතර පෙන්තකොස්ත සභාව විසින් මෙහෙයවන මෙවැනි දේවමෙහෙයන් සඳහා සහභාගී වන පිරිස් වැඩිවෙමින් පවතින බව පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)