ලන්ඩන්හිදීය (රොයිටර්) 
යුරෝපා සංගමයෙන් වෙන්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තවත් ජනමත විමසුමකට සූදානම් විය යුතු යැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා පැවැසීය. 

යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් නායකයන් සහ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය අතර ඇති කරගන්නා ලද ගිවිසුම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමට වැඩි ඉඩක් ඇති නිසා තවත් ජනමත විමසුමක් පැවැත්විය යුතු හිටපු අගමැතිවරයා කීය. 

පාර්ලිමේන්තුවේදී අදාළ ගිවිසුම පරාජයට පත්වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඇතිවන අර්බුදය වැළැක්වීමට පියවරක් ලෙස ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දුන්නේය. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මාස හතරක් තිබියදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම කල්දැමීමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඉකුත් දා පියවර ගත්තාය. 

බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමය තුළ රැඳී සිටීම සඳහා යුරෝපා තුළ ප්‍රතිසංස්කරණ කළ යුතු යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගම් නායකයන් හමුවෙමින් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා එම කරුණු සඳහන් කළේය.

 “ඊට සූදානම් වීමට කාලය ඇවිත්. ජනමත විමසුමක් සඳහා පාර්ලිමේන්තුව තුළ අදාළ පරිසරය සකස් කළ යුතුයි. ඒ සඳහා මතයක් නිර්මාණය කළ යුතුයි. බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳි සිටීම සඳහා සංගමය ආරක්ෂණීය තැනක් කළ යුතුයි. ඒ වගේම බ්‍රිතාන්‍ය ඒ පිළිබඳව නැවත සිතා බැලීමට සූදානම් බව යුරෝපා සංගමය තහවුරු කළ යුතුයි. බ්‍රිතාන්‍යයද ඒ පිළිබඳව උනන්දු විය යුතු” යැයි ද 1997 වසරේ සිට 2007 වසර දක්වා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ ටෝනි බ්ලෙයාර් මහතා පැවැසීය.


- 055