ඉතාලි විලාසිතා නිර්මාණ ශිල්පියකු මෙන්ම ප්‍රකෝටිපති සන්නාම හිමිකරුවකු ද වන ජෝර්ජියෝ අර්මානී අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 91 හැවිරිදි ජෝර්ජියෝ අර්මානී සිය නිවසේ දී අවසන් සුසුම් හෙලූ බවය.

ඉතාලි විලාසිතාවල අපුර්වත්වය ලොවට ගෙන ගිය දැවැන්ත විලාසිතා නිර්මාණ ශිල්පියකු ලෙස ජෝර්ජියෝ අර්මානී ලොව සුපතලය. අර්මානී සමාගම, කාන්තා සහ පිරිමි විලාසිතාවලට පමණක් සීමාවූවක් නොවෙයි. රූපලාවන්‍ය, සුවඳ විලවුන්, සංගීතය, ක්‍රීඩා උපකරණ සහ සුඛෝපභෝගී හෝටල් දක්වා ව්‍යාප්ත වී අවසන්ය. අර්මානී සමාගම වසරකට පවුම් බිලියන 2 කට වඩා ආදායමක් උපයන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජෝර්ජියෝ අර්මානී උපන්නේ, 1934 ජූලි 11 වන දින ඉතාලියේ පියචෙන්සා නුවරදීය. මුලදී ඔහුට විලාසිතා ගැන කිසිදු ආකාරයක උනන්දුවක් තිබුණේ නැතැයි පැවැසෙයි. අර්මානි මුලින්ම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා වෛද්‍ය විද්‍යාලයට ගියත්, පසුව ඔහු ඉතාලි හමුදාවට බැඳුනු බැවින් එය අතහැර දැමුවේය.

අර්මානී, විලාසිතා ක්ෂේත්‍රයට යොමු වූයේ හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසුවය. මුලින්ම ඔහු ජනේල සැරසිලිකරුවෙකු ලෙසත්, පසුව ඔහු ව්‍යාපාරික නිනෝ සෙරුටි යටතේ පිරිමි ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙසත් කටයුතු කළේය. අර්මානී, ඔහුගේ අර්මානී සමාගම ආරම්භ කළේ 1975 වසරේදීය.

ජෝර්ජියෝ අර්මානි අවිවාහකය. ඔහුට දරුවන් නැත. ඔහුගේ ජීවන සහකරු වූයේ වාස්තු විද්‍යාඥයෙකු සහ නිර්මාණ ශිල්පියකු වූ සර්ජියෝ බෙලින්සාගි බව ලොවට රහසක් නොවෙයි. බෙලින්සාගි 1985 දී අභාවප්‍රාප්ත විය. බෙලින්සාගිගේ මරණය සම්බන්ධයෙන් අර්මානි ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇත්තේ එය තමාට දරාගත නොහැකි අඩුවක් බවය.

රොසන්නා අර්මානි යනු ජෝර්ජියෝ අර්මානිගේ සොහොයුරියයි. ඇය පවුලේ විලාසිතා ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටී. ජෝර්ජියෝ අර්මානිගේ ලේලිය සහ බෑණා ද ව්‍යාපාර කටයුතු මෙහෙයවීම සිදු කරන බව පැවැසෙයි.

අර්මානිගේ උරුමය ඔහුගේ විලාසිතා අධිරාජ්‍යය පමණක් නොව, ලොව පුරා පිරිමි සහ කාන්තා විලාසිතා අලුත් මඟකට යොමු කිරීමට අර්මානිගේ සමත් විය. ජෝර්ජියෝ අර්මානිගේ අභාවය සම්බන්ධයෙන් ලෝක බලවතුන් පවා සොව පළ කර ඇත.

(බීබීසී ඇසුරිනි)