චෙන්නායි හි ඇපලෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් එම රෝහලේ විශේෂ කාමරයකට මාරු කරනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඇය චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළු කරනු ලැබුවාය. ඇගේ පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට මදක් සුව අතට හැරී ඇති බැවින් එසේ විශේෂ කාමරයකට මාරු කරනු ලැබූ බවත් ඇයට අමුත්තන් හමුවීටද හැකි බවත්ය.

ඇයට දිනකට විනාඩි 15ක පමණ කාලයක් කෘතිම ස්වසනය ද ලබාදෙන බව රෝහල් වාර්තා සඳහන් කරයි. ඇයට වෙන්කර ඇති විශේෂ කාමරයේ ද දැඩි සත්කාර ඒකකය මෙන්ම විශේෂ වෛද්‍ය උපකරණ ඇති ස්ථානයක් බව කියති.

ඇය අසනීප තත්ත්වයේ පසුවන බව ආරංචි වූ ඇගේ පාක්ෂිකයෝ පසුගිය දිනවල දැඩි ශෝකයට පත්ව සිටි බවත් ඔවුන් විවිධ පුද පූජා කරමින් ඇයට සුවය පැතූ බවත් ඇතැමුන් ශෝකය වාවාගත නොහැකිව අසනීප වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඇගේ ඒඅයිඒඩීඑම්කේ පක්ෂ සාමාජිකයෝ ඇය දැඩි සත්කාර ඒකකයෙන් මාරු කළ පුවත අසා වීදි බැස ප්‍රීති ඝෝෂා නගමින් නටන්නට හා ගයන්නට වූ බවද කියති. ඔවුන් රසකැවිලි බෙදා දෙමින් එකිනෙකා හා එක්ව ප්‍රීතිය බෙදා ගත් බවද වාර්තාවේ.

web_]Untitled-2 webntitled-1