ජපානයේ තල් මසුන් ඇල්ලීමේ වාර්ෂික වැඩසටහනට යුරෝපීය සංගමය සහ තවත් රටවල් 12කින් විරෝධතා එල්ල වී තිබේ. කෙසේ නමුත් තල්මසුන් අල්ලා ගනුයේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි ජපානය අවධාරණය කරයි. 
 
තල්මසුන් අල්ලා ගැනීමේ අරමුණින් නොවැම්බර් මාසයේදී ජපානයට අයත් නෞකා සමූහයක් දකුණු දිග සාගරය (ඇන්ටාර්ක්ටික් සාගරය) වෙත ගමන් කර තිබේ. එම පිරිස මාස හතරක කාලයක් එහි රැඳී සිටිමින් මින්කි තල්මසුන් 333ක් අල්ලා ගැනීමට සූදානම් බව පැවසේ. 
 
මෙලෙස තල්මසුන් අල්ලා ගනුයේ ඔවුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමට සහ ජීව විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි ජපාන ධීවර ආයතනය සඳහන් කරයි. එවැනි පර්යේෂණ හෝ අධ්‍යයන අවශ්‍ය නැතැයි ද එවැනි ක්‍රියාකාරකම්වලට මුවා වී ජපානය තල්මසුන් දඩයමේ නිරත වන්නේ යැයි ද විවිධ පිරිස් වලින් චෝදනා එල්ල වී තිබේ. 
 
“විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජපානය දකුණු දිග සාගරයේ තල්මසුන් ඇල්ලීමට විරෝධය පළ කරනවා” යැයි යුරෝපා සංගමය සහ අනෙකුත් රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
තල්මසුන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර කොමිසම දකුණු දිග සාගරය තල්මසුන්ගේ අභයභූමියක් ලෙස නම් කර තිබේ. එම කොමිසමේ මූලිකත්වයෙන් තල්මසුන් දඩයම් කිරීම තාවකාලිකව නවතා දැමීමේ අරමුණින් ගිවිසුමකට අත්සන් තැබුණු අතර ජපානය ද ඊට අත්සන් තැබීය.
 
එසේ වුවත් විද්‍යාත්මක පර්යේෂණවලට බව පවසමින් ජපානය තල්මසුන් දඩයම් කිරීමේ නිරත වෙයි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය 2014 වසරේදී ජපානය වාර්ෂිකව සිදු කරන තල්මසුන් දඩයම නැවත්විය යුතු යැයි නියෝග කළේය. එමෙන්ම දකුණු දිග සාගරයේ විද්‍යාත්මක පර්යේෂණවලට බව පවසමින් ජපානය කරන තල්මස් දඩයම විද්‍යාත්ම ප්‍රමිත හා තත්ත්වලට අනුකූල නොවන බව ද එම අධිකරණය ප්‍රකාශ කළේය.
 
ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, චිලී, කොස්ටරිකා, ඩොමිනියන් ජනරජය, ඉක්වදෝරය, මෙක්සිකෝ, නවසීලන්තය, පැනමාව, පේරු සහ උරුගුවේ යුරෝපා සංගමයට අමතරව ජපානයට විරෝධය පළ කර තිබෙන අනෙකුත් රටවල්ය. 
 
(ඒ.එෆ්.පී) 

055