ජපාන අධිකරණ අමාත්‍ය කට්සුකි කවායි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සතියක් තුළ එරටින් වාර්තා වූ  අමාත්‍යවරයෙකුගේ දෙවැනි ඉල්ලා අස්වීම මෙයයි.

මෙම වසරේ උත්තර මන්ත්‍රී මණ්ඩල සභා මැතිවරණයේ දී ඔහුගේ බිරිඳ මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට සඟරාවක් විසින් චෝදනා එල්ල කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතුවයි.

නීත්‍යනුකූල සීමාව ඉක්මවා මැතිවරණ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයට ඇය ගෙවීම් සිදුකර ඇතැයි එම සඟරාව අනාවරණය කර තිබේ.

සිය ඡන්ද කොට්ඨාසයේ ඡන්ද දායකයින්ට කාර්ය මණ්ඩලය ඔස්සේ කැවිලි වර්ග සහ වෙනත් ත්‍යාග යවා අමාත්‍යවරයාගේ කාර්යාලය තුළදීද දූෂණ ක්‍රියා සිදුකර ඇති බවට ද චෝදනා නගා ඇත.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය කවායි මහතා අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාට අද පෙරවරුවේ භාරදුන්නේය. මහජන විශ්වාසය කඩකිරීමට හේතුවන මෙම සැකකටයුතු සිදුවීම් සම්බන්ධයෙන් තමා වගකීම භාර ගන්නා බව ඔහු ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එරට වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ ඉස්ෂූ සුගවරා මහතා මීට දින 6 කට පෙර ඉල්ලා අස්විය. 
 
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)