ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ අවසන් අදියරේදී සිදුවීයැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ගොඩනැඟී ඇති හෝ ගොඩ නඟා ඇති මතය පසුබිම් කොට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සතුටු වන බව බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්විරේ පැවසිය.

පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩ වුවාද කියා සොයාබැලීම උදෙසා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට 2014 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණ යෝජනාවට බ්‍රිතාන්‍ය රජයද හවුල් කරවෙක් විය.

මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයේ මෙලෙස සඳහන්ව ඇත. 

" මම මෙම වැදගත් වාර්තාව ප්‍රකාශයට පත්කිරීම සාදරයෙන් පිළිගනිමි. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහ මෙම වාර්තාව සකස් කිරීම සඳහා කටයුතු කළ සියලු දෙනාට බ්‍රිතාන්‍ය රජයේ කෘතඥතාවය පුද කිරීමට කැමැත්තෙමි. වාර්තාවේ සඳහන් කරුණු සහ නිර්දේශ සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදුකර ශ්‍රී ලංකා රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද සමඟ එක්ව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සම්මතික තීරණයක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගයක් සැපයීමට අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාව තුළ සියලු ජන කොටස් අතරේ සංහිඳියාවක් වර්ධනය වී මානව අයිතීය සුරැකෙන කල්පවත්නා සාමයක් ඇතිවනු දැකීම බ්‍රිතාන්‍ය රජයේ අභිලාශය බවද සඳහන් කරමි."