සේවයේ සිටියදී ඩොලර් කෝටි 31( රුපියල් කෝටි 4092) ක වංචා කළේ යැයි හිටපු චීන ලූතිනන් ජෙනරාල් වරයෙකුට චෝදනා නැගී තිබේ.

ගු ජුන්ෂාන් නම් වන මෙම ලූතිනන් ජනරාල්වරයා අවි ගනුදෙනු,අයථා ලෙස පත්කිරීම්,ආරක්ෂක අංශ වෙත වෙන්කෙරෙන මුදල් ගසා කෑම්, ආදියෙන් මෙම මුදල් ප්‍රමාණය උපයාගෙන ඇතැයි කියැවේ.ඔහු මේ වන විට නීතිය හමුවට කැදවා සිටී.

තමන්ට කිසියම් පුද්ගලයෙකු මුදලට ගැනීමට අවශ්‍යවූයේ නම් එම පුද්ගලයාට රන් කුට්ටි පිරැවූ මර්සිඩිස් බෙන්ස් රථයක් පිළිගැන්වීම මෙම ලූතිනන් ජනරාල්වරයාගේ පුරුද්ද බව පැවසේ.

ඔහු තම වංචා කටයුතු සිදුකරගෙන ගොස් ඇත්තේ තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකුගේ ආධාර ඇතිව බවද අනාවරණයව තිබේ.චීන හමුදාවේ මධ්‍යම ආරක්ෂක කොමිසමේ හිටපු ප්‍රධානියෙකු වන මේ නිළධාරියාද මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය.

ගු ජුන්ෂාන් හට කවර දඩුවමක් ලබාදිය යුතුදැයි තීන්දුව ලබාදීමට නියමිත මේ සමයේ ඔහු පිළිඹද තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු මුදල් නොව රත්‍රන් කුට්ටි ප්‍රිය කළ අයෙකි.එනිසා ඔහු ලවා කිසියම් කටයුත්තක් කරවා ගැනීමට පැමිණෙන පුද්ගලයෙකු ඔහුට සන්තෝෂම් ලෙස දිය යුතුව තිබී ඇත්තේ රත්‍රන් කුට්ටියකි.

මේ මහා වංචාකරුවන් දෙදෙනාම නීතියේ දැලට හසුව ඇත්තේ චීන ජනපති ෂි ජන්ග්පින්ග් රජයේ දුෂණ මර්දනය කිරීමට දියත් කළ වැඩසටහනකිනි.

එම වැඩසටහන ආරම්භ කිරීමේදී චීනයේ වඩාත්ම දූෂණ කටයුතු සිදුවන්නේ ආරක්ෂක අංශ හා සම්බන්ධ කටයුතු වලදී බව ඔහු පැවසීය.

එරට අයවැයෙන් ආරක්ෂක අංශ සදහා වසරකට ඩොලර් බිලියන 190 ක් පමණ වෙන්කෙරේ.