පෝට් මෝස්බිහිදීය (රොයිටර්)
 
 
ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් බ්‍රහස්පතින්දා (15) පැපුවා නිව්ගිනියාවට පැමිණියේය.
 
ආසියා ශාන්තිකර සමුළුවේදී චීන ජනාධිපතිවරයා ප්‍රධාන භූමිකාවක් හොබවනු ඇතැයි ද පැවසේ. 
 
පැපුවා නිව්ගිනියාවට ආවේණික ගෝත්‍රික කණ්ඩායම් සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී නර්තන ඉදිරිපත් කරමින්  එරටට පැමිණි චීන ජනාධිපතිවරයා පිළිගත්හ. 
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෙනසුරාදා හා ඉරිදා පැවැත්වෙන ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී නොවන බව දැනුම් දී තිබෙන තත්ත්වයක් තුළ සමුළුවේදී චීන ජනාධිපතිවරයාට විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි පැවසේ. 
 
චීනය කලාපය තුළ ක්‍රියාත්මක කරමින් තිබෙන සංවර්ධන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට චීන ජනාධිපතිවරයාට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇතැයි ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 
 
පැපුවා නිව්ගිනියාව සම්පත් හා මූලාශ්‍රවලින් පොහොසත් රටක් වන අතර උපායමාර්ගිකව වැදගත් රටක් ලෙස ද සැලකේ. 
 
චීන ජනාධිපතිවරයකු නිල සංචාරයක් සඳහා පැපුවා නිව්ගිනියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ආසියා ශාන්තිකර සමුළුවට සහභාගී වීමෙන් පසුව ජනාධිපතිවරයා ආසියා ශාන්තිකර ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනයේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට ද නියමිතය.