ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු කටට එන ඕනෑම දෙයක්, තැන නොතැන දොඩන අයෙකි. 79 හැවිරිදි ට්‍රම්ප්, කාන්තාවන්ට ප්‍රසිද්ධියේ උසුළු විසුළු කරන තැනැත්තෙකු ලෙස ද ප්‍රකටය. 

ඊජිප්තුවේ පැවැත්වුණු ඊශ්‍රායල හමාස් සාම සමුළුවේදී, ට්‍රම්ප්, ඉතාලි අග්‍රාමාත්‍යවරිය ‘ලස්සනයි’ යැයි කියමින් ඇය වර්ණනා කිරීම මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

ඊජිප්තු සාම සමුළුවට යුරෝපා පටහිර රටවල නායකයන් රැසක් සහභාගී වී සිටි අතර, එයින් එක් අයකු වන්නේ ඉතාලි අග්‍රාමාත්‍යවරියයි. 48 හැවිරිදි මොලෝනී, අන්ත දක්ෂිණාංශික මතධාරියකු පමණක් නොව ට්‍රම්ප් හිතවාදී ලෝක නායකයකු ද වෙයි. 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අවස්ථාවේදී, ජනාධිපති ධුරයේ දිවුරුම්දීමටත් පෙර ඇමෙරිකාවට ගොස් ට්‍රම්ප් හමුවුණු ලෝක නායකයන්ගෙන් කෙනකු වන්නේ ද මෙලෝනීය.

ඊජිප්තු සාම සමුළුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ විස්තර පවසද්දී, සමුළුවට සහභාගී වූ විදෙස් නායකයන් සිටියේ ට්‍රම්ප් පසුපසය. මෙලෝනි ද ඒ අතර වූවාය. ට්‍රම්ප් සමුළුවට සහභාගී වූ යුරෝපා රටවල නායකයන් ගැන කතා කරද්දී, මෙලෝනී ගැන වැඩියෙන් වර්ණනා කරන්න විය.

‘ලස්සන ඉතාලි අග්‍රාමාත්‍යවරියත් අප සමඟ ඉන්නවා. සාමාන්‍යයෙන් ඇමෙරිකන් දේශපාලනයේ කාන්තාවක ලස්සනයි කියා වර්ණනා කළොත්, ඒ දේශපාලන ගමන එතැනින් අවසන්. සමහර කාන්තාවන් ලස්සනයි කීම ඇයට කරන කෙණෙහිලිකමක් ලෙස බාර ගන්නවා. ඒත් මම නම්, ලස්සනයි කියන දේ මූණටම කියනවා. මම බය නෑ” යැයි ට්‍රම්ප් පිටුපස බලන්නේ මෙලෝනි සිටින තැන සොයමිනි.
ඇය දුටු පසු ට්‍රම්ප් ඇයගෙන් විමසන්නේ ‘මම ඔබට ලස්සනයි කීවාට ඔබේ අමනාපයක් නැහැ නේද?’ යනුවෙනි. මෙලෝනි එසේ නැති බව ට්‍රම්ප්ට කියයි.

ඉන්පසු ට්‍රම්ප්, ඉතාලි අග්‍රාමාත්‍යවරිය තවත් වර්ණනා කරන්න වූයේ ඇය ඉතාලි වැසියන්ගේ ගෞරවාදරයට පත් තැනැත්තියක බව ද පෙන්වා දෙමිනි. ඊජිප්තු සාම සමුළුවට බටහිර රටවල නායකයෝ 30 දෙනෙක් සහභාගී වූහ. ඔවුන් අතර සිටි එකම කාන්තාව වන්නේ ද මොලෝනීය.