ජර්මනියේ සමාජ ජාල තුල ජාතිවාදී මෙන්ම ජාතින් අතර වෛරය ඇතිවෙන ලිපි පළ කරන පුද්ගලයින්ට එරෙහිව වැටලීම් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ට්විටර්,ගුගල්,ෆේස්බුක් යන මාධ්‍ය ජාල වල එවන් අදහස් පළකිරීම ලොව පුරා සිදුවෙන දෙයකි. නමුත් ජර්මන් නීතියට අනුව වාර්ගික වෛරය ඇතිකිරීම සදහා උල්පන්දම් දීම අපරාධයක් වන අතර කෙනෙකු ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමකට එරෙහිව වෛරය පළකිරීම හෝ අපාහස කිරීම මත වසර පහක කාලයක් සඳහා සිරගත කළ හැකිය.

මේ වන විට එවන් මත පලකළ 60 දෙනෙකු සම්බන්ධයෙන් වැටලීම් ආරම්භ කර තිබේ. එරට සරණාගතයන්ට සිදුවෙන ප්‍රහාර අන්තර්ජාලයෙන් බිහිවෙන රැඩිකල්වාදයේ ප්‍රතිඵල බව ජර්මන් ෆෙඩරල් අපරාධ පොලිස් අධිකාරිය පවසයි. යුරෝපීය සරණාගත අර්බුදය හමුවේ දේශපාලන අරමුණු සදහා අන්තර්ජාලයේ මෙවන් ක්‍රියා කිරීම අවාසනාවක් බව ඔවුහු පවසති.

පසුගිය වසරේ ජර්මනියෙන් මිලියනයක පමණ සංක්‍රමණිකයින් සහ සරණාගතයන් පිරිසක් වාර්තා විය. පළාත් 14ක වැටලීම් ආරම්භ කර ඇති අතර ඒ සදහා පොලිස් මධ්‍යස්ථාන 25ක් යොදාගනෙයි. 2015 සිට ෆේස්බුක් හරහා රහස් සංවාද මගින් එවන් අදහස් පැතිරවූ කණ්ඩායමක් පිළිබදවද පොලිසිය ප්‍රකාශයක් නිකුත් කළේය. එවන් අදහස් මකාදැමීමට පියවර ගැනීමට අසමත් වීම නිසා එරට රජය විසින් ෆේස්බුක්, ට්විටර් හා ගූගල් යන ආයතන වලට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර මෙම වසර අවසානයේ සිට එම ජාල වල පලවෙන එවන් අදහස් පැය විසිහතරක් ඇතුලත මකාදැමීමට එම ආයතන පොරොන්දු වී තිබේ.