ඇමරිකාවේ ආර්කන්සාස් නගරයේ ලිට්ල් රෝක් සත්වෝද්‍යානයේ  ජගුවයකුගේ කූඩුවකට වැටුණු දරුවකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලිට්ල් රෝක් පොලිසිය පවසන්නේ වයස අවුරුදු තුනක ළමයාගේ පය ලිස්සා යාම හේතුවෙන් ඔහු ජගුවර් කුඩුවට වැටී ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේ ළමයා සමග පියා සහ සීයා ද සිට ඇත.  ළමයාගේ පියා ජගුවර් කූඩුව වටා ඇති ආරක්ෂක වැටට හේත්තුවී එම සතුනගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පුතා පය ලිස්සා වැටී ඇත. මේ දරුවා අඩි 16ක් පමණ පහතට වැටුණු බවත් තදින් කෑ ගැසූ බවත් සීයා පවසා ඇත.

කූඩුවේ සිටි ජගුවර් දෙදෙනෙක් දරුවාට පහර දි ඇත. එක් ජගුවරයකු ළමයාගේ පාද සපාකද්දී අනෙක් ජගුවරයා ගෙල පෙදෙස සැපීමට උත්සාහ ගෙන ඇත.

වහා ක්‍රියාත්මක වූ සත්වෝද්‍යාන සේවකයන් ගිනිනිවන උපකරණ මගින් ජලය විද ජගුවරයන් ගෙන් ළමයා ඈත් කරති. ඒ අතර ඉනිමගක් කුඩුව තුලට  දමා ළමයා බේරාගත් බව සත්වෝද්‍යානය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සත්වෝද්‍යාන භාරකරුවන් පවසන්නේ ළමයා බේරා ගන්නා අවස්ථාවේ සිහිකල්පනාව තිබු බවයි. පසුව සිඟිත්තා වහාම ආර්කන්සස් ළමා රෝහළට ඇතුලත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂක ඩැන් මැක් ෆේඩන් පවසන්නේ ළමයාගේ තත්වය බරපතල බවයි. අනතුරට පත් ළමයාගේ නම සහ වෙනත් තොරතුරු මේ අවස්ථවේදී  හෙලි නොකරණ ලෙස ඔහුගේ භාරකරුවන් කරණ ලද ඉල්ලීමට තමන් ගරු කල බව ද රෝහල් අධ්‍යක්ෂක වරයා පවසයි.

නාගරික බලධාරින් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.