ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් බව ඇමෙරිකාවේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අනාවරණය කළේය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය සමඟ සිදු කෙරෙන බොහෝ මූල්‍ය හා ව්‍යාපාරික ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මෙම සම්බාධක හරහා ට්‍රම්ප් පරිපාලනය අපේක්ෂා කරන බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වැඩි දුරටත් අනාවරණය කර ඇත.

එසේ වුවත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය හෝ ට්‍රම්ප් පරිපාලනයේ කිසිවකු හෝ කිසිවක් පවසා නැත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යනු යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ජන සංහාර සහ ආක්‍රමණික අපරාධ වැනි ලෝකයේ සිදුවන බරපතළම අපරාධ සඳහා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දීම සඳහා පිහිටුවන ලද ස්ථිර සහ ස්වාධීන අධිකරණයයි.

නෙදර්ලන්තයේ හේග් නගරය මූලස්ථානය කරගත් මෙම අධිකරණය 2002 දී ස්ථාපිත කළේ, 'රෝම ප්‍රඥප්තිය' පදනම් කරගනිමිනි. ජාතික අධිකරණවලට යුක්තිය ඉටු කිරීමට නොහැකි වන හෝ අසමත් වන අවස්ථාවන්හිදී, ගෝලීය මට්ටමින් වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම මෙම අධිකරණයේ ප්‍රධාන අරමුණ වේ.