ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජී - 20 ලෝක ආර්ථීක සමුළුවට පැමිණ සිටි ලෝක ආර්ථීක බලවතුන් ආර්ථීක ගැටලූ විසදීම,ඉබෝලා අර්බුදය,යුක්රේන ගැටලූව ආදිය මදකට අමතක කර කෝලා වළසුන් සුරතල් කරමින් සිටිනු පසුගියදා දැකගත හැකිවිය.

රුසියා ජනපති ව්ලැදිමිර් පුටින්ගේ මුවග පවා වෙන කිසිදා නොදකින සිනහවක් රැදී තිබුණි.

ඇමරිකා ජනපති බැරක් ඔබාමා සුපුරුදු ලෙසම සතුටින් හා සැහැල්ලූවෙන් සිටිනුත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි කෝළා වළසුන් ගැන ඔස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට්ගෙන් තොරතුරු විමසනුත් මාධ්‍ය ඇසට හසුවූ දසුන් අතරින් සමහරක් විය.

කෝලා සුරතලය අවසානයේ රැස්වීම රාජකාරිමය ස්වභාවයක් ගත්තේය.සියලූදෙනාගේ විරෝධය ජනපති ව්ලැදිමිර් පුටින් කෙරේ වන බව පෙනුනි.

යුක්රේන අර්බුදය මුල්කරගෙන සියලූ රාජ්‍ය නායකයෝ පුටින්ට එරෙහිව අදහස් පළ කළහ.කැනඩා අගමැති ස්ටීවන් හාපර් හා පුටින් අතර විවාදය කෙතරම් දුර ගොස් ඇත්ද යත් පුටින් සළුුලූවට සහභාගී නොවීම රුසියාව බලා යෑමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා වලින් පැවසුණි.නමුත් පසුව ජනපති පුටින් එවැනි තීරණයක් ගෙන නොමැති බව රුසියාව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

පුටින්ව අනෙක් රාජ්‍ය නායකයින් කොන් කර ඇති ආකාරය ඔවුන් සියලූදෙනා සමූහ ඡායාරූපයට පෙනී සිටීමේදී පැහැදිලිව පෙනුනි.පුටින් අයිනක සිටුවා තිබුණේ අන් අය හා ඔහුගේ සබදතාවක් නොමැති බව ඇගවීමට මෙනි.

නමුත් මේ කිසිත් ගණන් නොගන්නා බවක් පෙනුනු පුටින් රුසියා අගමැතිවරයා, බ්‍රිතාන්‍ය අගමැතිවරයා, ප්‍රංශ ජනපතිවරයා ආදීන් හා සාකච්ඡා වලද නිරත විය.

මෙවර ආර්ථීක සමුලූවේදී යුක්රේන අර්බුදය හා ලෝක ආර්ථීක ප්‍රවණතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරුණි.

ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධ කාරණයේදී ඉරානයට න්‍යෂ්ඨික අවි නිපදවීම දක්වා පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට ඇති ඉඩ අහුරා දැමිය යුතු බවට ඇමරිකාව, චීනය, බ්‍රිතාන්‍යය හා ජර්මනිය වැනි රටවල් පවසද්දී රුසියාවද ඊට සහය දැක්වීම විශේෂ සිදුවීමක් විය.