චාල්ස් කුමරුගේ සමීප හිතවතෙකු මෙන්ම ”කුමරුගේ පදනම” නම්  සුභසාධන පදනමේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂක මයිකල් ෆොසෙට් විසින්, සෞදි බිලියනපති මාෆොස් මරෙයි මුබාරක් බින් මාෆොස් හට බි‍්‍රතාන්‍යයේ නයිට් පදවිය සහ පුරවැසිභාවය ලබා දෙන බව පවසා පදනමට පවුම් දහස් ගණනක ආධාර ලබා ගැනීම පිළිබඳව බ‍්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

චාල්ස් කුමරුගෙන්ද මේ පිළිබඳ ප‍්‍රශ්න කිරීමට සිදු විය හැකි යැයි මෙට්‍රොපොලිස් පොලිසිය පවසයි. 73 හැවිරිදි චාල්ස් කුමරු පොලිසියට ප‍්‍රකාශයක් දීමට සුදානම් බව ඔහු පවසයි.

මෙට්‍රොපොලිස් පොලිසියේ මෙම පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සහ රාජාණ්ඩු විරෝධී කණ්ඩායමක් විසින් මෙට්‍රොපොලිස් පොලිසියට චාල්ස් කුමරු සහ මයිකල් ෆොසෙට් ගේ නම් ඈදා ගනිමින් පොලිසිය වෙත යවනු ලැබූ ලියුම් දෙකක් හේතුවෙනි.

ක්ලැරන්ස් හවුස් මෙම ගෞරව නාම ලබා දීම සඳහා මුදල් ලබාගැනීමේ සිද්ධිය  පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ චාල්ස් කුමරු මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවය.

1925 ගෞරව නම්බු නාම ප‍්‍රධානය කිරීමේ පනත ප‍්‍රකාරව චාල්ස් කුමරු සහ මයිකල් ෆොසෙට් වරදක් කර ඇති නිසා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ලියුම් දෙකේ සඳහන් කර ඇත.

මුදලට ගෞරව නම්බු නාම ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව මෙට්‍රොපොලිස් පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තම පදනමට සිදු කල ආධාරයක් චාල්ස් කුමරු නොදැන සිටින්නේ කෙසේද යන්නයි. නමුත් රාජකීයන් එකහෙළා ප‍්‍රකාශ කෙරුවේ චාල්ස් කුමරු මේ පිලිබඳ කිසිම නොදන්නා බවයි.

විමුක්ති එස් රුද්‍රිගු
රොයිටර්ස්