ලෝක සෞඛ්‍ය සංවිධානය මාරාන්තික කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය අද (31) එරට වැසියන්ට දැනුම් දුන්නේය.

නව කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 213 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආසාදනය වූ සංඛ්‍යාව 9,692 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කොරෝනා වයිරසය මීට දශක දෙකකට පෙර ලොව පුරා පැතිර ගිය සාර්ස් වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර අවදානම් මට්ටම ඉහළ දමමින් එරට වැසියන්ට චීනයට ගමන් නොකරන්නැයි අනතුරු ඇඟවීය. එමෙන්ම චීනයේ සිටින සියලු ඇමෙරිකානු ජාතිකයන්ට එරටින් පිටවන්නැයිද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

මීට පැය කිහිපයකට පෙර කොරෝනා වයිරසය ගෝලීය හදිසි තත්ත්වයක් බවත් වයිරසය ගෝලීයව පැතිර යන වසංගතයක් බවත් නිවේදනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව නිවේදනය කළේ ජීනිවා නුවර පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. වයිරසයෙන් ඇති වූ තර්ජනය එතරම් සැලකිල්ලට නොගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස් ඇසීමට ද සිදුවිය.

“අපි වැඩියෙන්ම සැලකිලිමත් වන්නේ දුර්වල සෞඛ්‍ය පද්ධති සහ දුර්වල සෞඛ්‍ය සේවා සහ පහසුකම් තියෙන රටවලට වයිරසය පැතිර යෑම ගැන” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රෝස් අදනම් පැවැසීය.

“අපි හැමෝම එකමුතුව වැඩ කරන්න ඕනෑ. වයිරසය පැතිර යෑම නැවැත්වීමට අපි සියලු දෙනාම සාමූහිකව වැඩ කරන්න වුවමනායි. අපිට මෙය නැවැත්විය හැක්කේ එක්ව වැඩ කිරීමෙන් පමණක්” බව ද හෙතෙම කීවේය.

(ඒ.එෆ්.පී.  ඇසුරිනි)

055