වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. 

සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ චීන ජනතාව සඳහා ඊ වෙබ් අඩවිවල විකිණීමට ඇත.

මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ.

කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණ හැකියාව ශක්තිමත් වෙමින් පවතින අතර අසාදනයවීම් ඉහළ යා හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අමාත්‍ය මා ෂියාඕවේ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ  වෛරසය පිළිබඳ බලධාරීන්ගේ දැනුම තවමත් සීමිත බවයි.

වෛරසයේ විකෘති හේතුවෙන් ඇතිවිය හැකි අවදානම පිළිබඳව පැහැදිලි නැති බවත් ඔහු පවසයි.  වෛරසය ශරීරයට ඇතුළු වී දින 14ක කාලයක් (බීජෞෂණ සමය) තුළ රෝගය වැළඳෙන බවත් මීට පෙර වසංගතයක් ලෙස පැතිරී ගිය සාර්ස් සින්ඩ්‍රෝමය සම්බන්ධව මෙවැන්නක් සිදු නොවූ බවත් අමාත්‍යවරයා පවසයි.

 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)