බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් චීනය කටයුතු කරන ආකාරය සහ වෙළෙඳාමේදී චීනය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ. 

උතුරු කොරියාව හේතුවෙන් ඇමෙරිකාව සහ චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙන මොහොතක ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ. චීනයේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකානු ආයෝජකයන්ට සහ සමාගම්වලට හානි සිදුවන්නේ ද සොයා බලන්නැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත රොබට් ලයිට්තීසර්ට දැනුම් දී තිබෙන අතර අවශ්‍ය වුවහොත්, ඒ සුදුසු පියවර ගන්නැයි ද උපදෙස් දී ඇත. 

“වෙළෙඳපොළවලට පිවිසීම සඳහා නීතිවිරෝධී ලෙස ඇමෙරිකානු සමාගම්වලට ඔවුන්ගේ තාක්ෂණය භාවිත කිරීමට සහ මාරු කිරීමට බල කරන ඕනෑම රටකට එරෙහිව අපි පියවර ගන්නවා. අනවසරයෙන් අපේ තාක්ෂණය භාවිත කිරීමට එරෙහිව පියවර ගන්නවා.

ඇමෙරිකානු රැකියා විනාශ කරන ප්‍රකාශන කොල්ලකෑම්වලට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි අපේ කතෘ හිමිකම්, පේටන්ට් බලපත්‍ර, වෙළෙඳ සන්නාම, වෙළෙඳ රහස් සහ අනෙකුත් බුද්ධිමය දේපළ ආරක්ෂා කර ගත යුතුයි. එය අපේ ආරක්ෂාවටත් සෞභාග්‍ය කරා යන ගමනටත් ඉතා වැදගත්” යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 

 

(ඒ.එෆ්.පී 055)