සඳ වෙත ගොඩබස්වන අවස්ථාවේදී සන්නිවේදන සබඳතා ගිලිහී ගිය චන්ද්‍රයාන් - 2 යානය පිහිටි ස්ථානය සොයාගැනීමට හැකිවූ බව ඉන්දීය අභ්‍යවකාශ බලධාරීහු පවසති.

එසේවුවත් යානය සමඟ යළි සන්නිවේදන සබඳතා ගොඩනගා ගැනීමට නොහැකි වූ බව ද ඔවුහු සඳහන් කරති.

ඉන්දියාව හැරුණු විට මෙතෙක් සඳ වෙත යානා යවා ඇත්තේ ඇමරිකාව, චීනය,හා රුසියාව පමණි.

මෙම වසරේ මුල් කාලයේ දී චීනය විසින් සඳවෙත යැවූ චැන්ජි - 4 යානය සඳෙහි අඳුරු පැත්තට ගොඩබස්වනු ලැබිණි.

ඉන්දියානු යානය ගොඩ බැස්වීමට නියමිතව තිබූ සඳේ දකුණු කොටසේ ධ්‍රැවීය අයිස් තිබෙනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

චන්ද්‍රයාන් - 2 සමඟ සන්නිවේදන සබඳතා ගොඩනගා ගැනීමට සියලු උත්සාහයන් දරන බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

(රොයිටර් පුවත් ඇමසුරිණි - 085)