ඉන්දියාව ඉකුත් දා උඩු ගුවනට මිසයිලයක් යවමින් චන්ද්‍රිකාවක් විනාශ කළ අතර එම මෙහෙයුමෙන් ඉතිරි වූ අභ්‍යාවකාශ සුන්බුන් දින 45ක් ඇතුළත විනාශ වී යනු ඇතැයි ඉන්දියාවේ ප්‍රධාන ආරක්ෂක විද්‍යාඥයා පවසයි. 

එම සිදුවීමත් සමඟ ඉන්දියාව චන්ද්‍රිකාවක් විනාශ කළ සිවුවන රට බවට පත්විය. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් සමූහාණ්ඩුව සහ චීනය මිසයිල යොදා ගනිමින් චන්ද්‍රිකා විනාශ කර තිබිණි. 
 
ඉන්දියාව අභ්‍යාවකාශ සුපිරි බලවතකු යැයි එම මෙහෙයුමෙන් අනතුරුව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය. 
 
මෙහෙයුමෙන් ඉතිරි වූ සුන්බුන්වලින් හානි සිදු වනු ඇතැයි බිය පළවීමත් සමඟ ඉන්දීය විද්‍යාඥයෝ එම සුන්බුන් විනාශ වී යනු ඇතැයි පැවසූහ. 
 
කිලෝමීටර 300ක් ඉහළින් කක්ෂයේ පැවැති චන්ද්‍රිකාවක් විනාශ කිරීමට ඉන්දියාවේම නිෂ්පාදනය කරන ලද බැලැස්ටික් මිසයිලයක් යොදාගත් බව ඉන්දියාව එම මෙහෙයුමෙන් පසු නිවේදනය කළේය. 
 
එලෙස චන්ද්‍රිකා විනාශ කිරීමේ තාක්ෂණය ඇත්තේ ඉහත කී රටවල් තුනට පමණක් යැයි ඇතැම් පාර්ශව ප්‍රකාශ කරන අතර ඉන්දියාවේ මෙම මෙහෙයුමත් සමඟ අභ්‍යාවකාශය තුළ ආයුද සටනක් ඇති වී ඇතැයි ඔවුහු ප්‍රකාශ කළහ. මෙලෙස විනාශ කිරීමෙන් ඉතිරි වන සුන්බුන් වසර ගණනාවක් අභ්‍යාවකාශය තුළ රඳා පවතිනු ඇතැයි ද එමඟින් අනතුරු ඇති වීමේ අවදානමක් ඇතැයි ද එම පිරිස් පැවැසූහ. 
 
අභ්‍යාවකාශයේ ඉතිරි වන සුන්බුන් ප්‍රමාණය අඩු කිරීම සඳහා පහළ කක්ෂයේ පැවැති හමුදා චන්ද්‍රිකාවක් යොදාගත් බව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ ප්‍රධානී ජී. සතීෂ් රෙඞ්ඩි පැවැසීය.
 
“මේ සුන්බුන් වැඩි කල් නොයාම විනාශ වෙනවා. අප අඩු උසකින් කළේ ඒ නිසා” යැයි රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කීවේය.
 
“සුන්බුන් දැන් එහා මෙහා යමින් තිබෙනවා. සුන්බුන් ප්‍රමාණය කොතරම් ද අප දැන් ගණනය කරමින් ඉන්නවා. අපේ ගණනය කිරීම්වලට අනුව සුන්බුන් දින 45ක් ඇතුළත විනාශ වී යාවී” යැයි ඔහු කීය. 
 
(රොයිටර් ඇසුරිනි)
 
  055