අභ්‍යාවකාශයට යැවුණු චන්ද්‍රිකා 2 ක් වැරදි කක්ෂ වලට ඇතුළුවී තිබීම නිසාවෙන් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මේ දිනවල මහත් අකරතැබ්බයකට මුහුණදී සිටී.

එජන්සිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ‘‘ගැලීලියෝ‘‘ නම් චන්ද්‍රිකා ආධාරයෙන් තමන් සිටිනා තැන සොයාගත හැකි පද්දතියකට මෙම චන්ද්‍රිකා 2 අයත් බව සදහන්ය.

දැනට මෙවන් පද්දතියකට හිමිකම් කියන්නේ ඇමරිකාව පමණකි.‘‘ජීපීඑස්‘‘යැයි අප සියලූ දෙනා හොදින් දැන හඳුනාගෙන සිටින්නේ එම පද්දතියයි.

ජීපීඑස් පද්දතියට තරඟයක් දීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය ‘‘ගැලීලියෝ‘‘පද්දතිය කරළියට ගෙන ඒමට සැරසුණද සියල්ල ලත් තැනම ලොප් වී ඇති සෙයක් පෙනේ.

චන්ද්‍රිකා 2 හි ඇති මෝටර් වලින් ඒවා නියම කක්ෂයට ගෙන ආ හැකිදැයි මේ දිනවල සොයා බැලෙමින් පවතින අතර එසේ කිරීමට නොහැකි වුවහොත් පද්දතිය ක්‍රියාත්මක කිරීම තවත් කල් දැමීමට සිදුවනු ඇතැයි ඒජන්සි ආරංචි මාර්ග කියයි.

දැනට සොයාගෙන ඇති ආකාරයට චන්ද්‍රිකා 2 අභ්‍යාවකාශයට ගෙන ගිය රොකට්ටුව අවසානයේ ඒවායින් වෙන්වන අවස්ථාවේ සිදුවූ දෝෂයකින් මෙසේ ඒවා වැරදි කක්ෂ වලට ඇතුල්වී තිබේ.

2020 වන විටදී ගැලීලියෝ පද්දතිය ක්‍රියාත්මක කරවීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය සැළසුම් කරගෙන සිටී.දැනට පවතින ජීපීඑස් පද්දතියට වඩා බොහෝ සෙයින් දියුණු තාක්ෂණයන් මෙම ව්‍යාපෘතිය සදහා භාවිතා කෙරී ඇතැයි පැවසේ.

දැනටමත් 2011 වසරේ 2 කුත්, 2012 වසරේ 2 කුත්, ලෙස ගැලීලියෝ පද්දතියට අයත් චන්ද්‍රිකා 4 ක් කක්ෂ ගත කිරීමට ඒජන්සිය සමත්ව ඇති අතර මුළු පද්දතියම මෙසේ අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා 30 කින් සමත්විත වන බව සදහන්ය.