චීනයේ වෙළෙඳ සහ විදේශ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සහ චීන නිෂ්පාදනවලට ආනයන බදු පනවන්නැයි බල කරමින් ඉන්දීය ව්‍යාපාරිකයෝ අද (19) චීන භාණ්ඩවලට ගිනි තැබූහ. 

චීන නිෂ්පාදන ඉන්දීය නිෂ්පාදකයන්ගේ වෙළෙඳාම්වලට අහිතකර ලෙස බලපෑම් කරන බවත් එම නිසා චීන ආනයන වර්ජනය කරන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දීය වෙළෙන්ඳෝ ඉල්ලා සිටියහ. 

වෙළෙඳ ක්ෂේත්‍රයට අමතරව ඉකුත් දා චීනය, පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් අසාදු ලේඛන ගත කිරීම ප්‍රමාද කිරීමට නිෂේද බලය භාවිත කිරීම ද ඉන්දියාවේ කෝපයට හේතු විය. 

මසූද් අෂාර් සහ ඔහුගේ සංවිධානය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව කියමින් චීනය එලෙස අදාළ යෝජනාව ප්‍රමාද කළේය. 

චීනය යනු ඉන්දියාවේ දෙවැනි විශාලතම වෙළෙඳ පාර්ශවකරු වන අතර දෙරට අතර වෙළෙඳ හිඟය ද පුළුල් වී තිබේ. නරේන්ද්‍ර මෝදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව දෙරට අතර වෙළෙඳ හිඟය පුළුල් වීමෙන් වැඩි වාසි හිමිව ඇත්තේ චීනයටයි. වසර 2014 සියයට 75කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 63ක් දක්වා දෙරට වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ. 

නවදිල්ලි නුවරදී ඉන්දීය වෙළෙන්ඳෝ ලැප්ටොප්, ජංගම දුරකතන, පරිගණක, ෆැක්ස් යන්ත්‍ර සහ සෙල්ලම් බඩු යනාදී චීන නිෂ්පාදනවලට ගිනි තැබූහ. ඊට අමතරව තවත් නගර කිහිපයකදීම චීන නිෂ්පාදනවලට ගිනි තැබූ බව වාර්තා විය. 

රොයිටර් ඇසුරිනි 

055