චීනයේ හුනාන් පළාතේ, ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමක් සහ ගින්නක් හටගත්තේය. පිපිරීමට සහ ගින්නට හසුවීමෙන් මියගිය ගණන 21 කි. තුවාල ලැබූ ගණන 64 ක් බව පැවැසෙයි.

තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

පිපිරීම සහ ගින්න හටගත්තේ ලියුයැංග් නගරයේ පිහිටි හුවාෂෙංග් නගරයේ ගිනිකෙළි කම්හලේය. ඒ, එරට වේලාවෙන් සවස 4.30 ට පමණය.

පිපිරීම සහ ගින්න හේතුවෙන්, කම්හලේ සිට කිලෝ මීටර් 3 ක් ඇතුළත සියලු පදිංචිකරුවන් ආරක්ෂාත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණි. පිපිරීමෙන් පසු අතුරුදන් වූවන් සොයා සුන්බුන් සෝදිසි කරන බව ද පැවැසෙයි.

දිවි ගලවා ගැනීමේ කටයුතු සඳහා සහන සේවකයන් 500 දෙනකු යෙදවා ඇති බවත්, හමුදාවේ ද සහාය ඊට හිමිවුණු බවත් පැවැසෙයි. ඊට අමතරව නියමුවන් රහිත ඩ්‍රෝන යානා සහ රොබෝවරුන් ද දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇතැයි ද පැවැසෙයි.

පිපිරීම සහ ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බව ද වාර්තා වේ.