අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත, චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැංග් රෙන්ජියන්ට මරණ දඬුවම නියම විය. කෙසේ නමුත්, තමා කළ අපරාධ පිළිබඳ පාපොච්චාරණය කිරීම නිසා, චීන මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම, වසර දෙකකට අත්හිටුවීමට තීරණය කළේය.

2007 වසරේ සිට 2024 වසර දක්වා විවිධ තනතුරු දරමින් ටැංග් රෙන්ජියන්, යුවාන් මිලියන 268කට (අමෙරිකානු ඩොලර් මිලියන 37.6) වැඩි මුදලක් සහ දේපළ ඇතුළුව අල්ලස් ලබා ගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත.

මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසු, 2024 නොවැම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ටැංග් රෙන්ජියන් නෙරපා දමනු ලැබුණි. 

කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස නම් කිරීමට ටැංග් රෙන්ජියන්, 2017 සිට 2020 දක්වා බටහිර ගන්සු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් ද කටයුතු කර ඇති බව වාර්තා වේ.