දේශීය ඉල්ලුම අඩුවීම සහ අපනයන මත ඇමෙරිකාව පැනවූ බදු යන හේතු නිසා පහළ වැටුණු චීන ආර්ථිකය මේ වසරේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි රොයිටර් සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි.

ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය පසුගිය වසරේදී ශක්තිමත් ආරම්භයක් ලැබුවද වසර අවසන් වනවිට ආර්ථික වර්ධනය පහත වැටිණි. 

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වූ වෙළෙඳ යුද්ධය හේතුවෙන් එරට වෙළෙඳ ක්ෂේත්‍රයට බාධා එල්ල විය. චීන ව්‍යාපාර මත තබා තිබූ පාරිභෝගික විශ්වාසය ද පහත වැටිණි. ගෝලීය ඉල්ලුම අඩු වීම හේතුවෙන් චීන අපනයනවලට දැඩි බලපෑමක් එල්ල විය. 

මේ වසරේදී චීන ආර්ථිකය සියයට 6.3ක් තරම් අඩු අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරුණි. එය වසර 29කට පසු චීන ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරුණු පහළම අගයයි. පසුගිය වසරේදී එම අපේක්ෂිත අගය සියයට 6.6ක් ලෙස දැක්විණි. 2017 වසරේදී චීන ආර්ථිකය සියයට 6.9කින් වර්ධනය විය. 

චීනය 2018 වසර සඳහා සියයට 6ත් 6.5ත් අතර ආර්ථික වර්ධන ඉලක්කයක් තබා තිබූ අතර එම ඉලක්කය සියයට 6.5ටත් වඩා අඩු කිරීමට බලාපොරොත්තු වන බව පසුගිය සතියේදී වාර්තා විය. 

පසුගිය වසර ආරම්භයේදී චීන ආර්ථිකයේ වර්ධන වේගය සියයට 6.8ක් ලෙස දැක්වුණු අතර පළමු කාර්තුව අඩුවන විට එය සියයට 6.4ක් දක්වා අඩුවිය. 

රොයිටර් ඇසුරිනි 

055