ගාසා තීරයේ අභ්‍යන්තර උමං ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන තෙක් සටන් නොනවත්වන බව ඊශ්‍රායෙල අගමැති ඛෙන්ජමින් නෙතන්යාහු පසුගියදා රූපවාහිනිය ඔස්සේ ඊශ්‍රායෙල ජනතාව අමතමින් පැවසීය.

ඊශ්‍රායෙල අගමැතිවරයාට අනුව ගාසා තීරයේ හමාස් සටන්කාමිීන් හා ඊශ්‍රායෙලය අතර ගැටුමට ස්ථීරසාර අවසානයක් ගෙන ඒමට නම් සටන්කාමිීන් අවි බිම තැබීම හැර අන් කිසි විකල්පයක් නොමැත.

ඊශ්‍රායෙල ජනතාව අනතුරේ හෙළා හමාස් සටන්කාමිීන්ට ඔවුනට වුවමනා අන්දමට කි්‍රයාකාරී වන්නට ඉඩ දෙන්නේ නැතැයි ඔහු අවධාරණය කළේය.

අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස හමාස් සංවිධානය දන්වා ඇත්තේ අවි බිම තැබීමකට හෝ ගිවිසුමකට හෝ එළැඹිීමට තමන්ගේ සූදානමක් නැති බවයි.පලස්තීන දරුවන් හා ජනතාව මරා දමමින් ඊශ්‍රායෙල සිදුකරන මේ මහා සංහාරයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයිද හමාස් සංවිධානය පවසා ඇත.

මේ දක්වා සිදුව ඇති සටන් වලින් පලස්තීන ජාතිකයෝ 1100 කට ආසන්න සංඛ්‍යාවක් මරු දැක ඇත්තාහ.ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සිවිල් වැසියන්ය.

ඊශ්‍රායෙලයේ කි්‍රයාකලාපය නිසා ඔවුන්ගේ කිට්ටු සගයෙකු වන ඇමරිකාවද දැන් ඊශ්‍රායෙලය හා අමනාපවී සිටින ආකාරයක් දැකගත හැකිය.ඇමරිකා ජනපති බැරක් ඔබාමා ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය විපතට පත්ව සිටින ගාසා තීරයේ ලක්ෂ 18 ක් පමණ වන ජනතාව හට සහන සේවා සැපැයීමට පැය 24 ක වත් සටන් විරාමයක් ඉල්ලා සිට ඇතත් ඊශ්‍රායෙලය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඊශ්‍රායෙලය මිනිසුන් හිතුමතයේ මරා දමමින් ‘පිස්සු බල්ලෙකු‘ ලෙස කටයුතු කරමින් සිටින්නේයැයි ප්‍රකාශයක් නිකුත් කිරීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි කටයුතු කර තිබේ.

ඔහුගේ අදහස වී ඇත්තේ ඊශ්‍රායෙලය මර්දනය කිරීමට අරාබි රටවල් එකතු විය යුතුව ඇති බවයි.

හමාස් සංවිධානය හා ඊශ්‍රායෙලය අතර සටන් විරාමයක් ඇති කිරීමට බටහිර ඉවුරේ පාලනය හිමි ජනපති මොහොමඩ් අබ්බාස් ගේ රජය කටයුතු කරමින් සිටියද ඉන් ඵලක් නොමැති බවක් පෙනෙන්නට ඇත.වරක් හමාස් සංවිධානය සාකච්ඡා මේසයට පැමිණීමට සූදානමින් සිටින්නේයැයි අබ්බාස්ගේ රජයේ ප්‍රකාශකයෙන් සදහන් කළ අතර එයට වහා ප්‍රතිචාර දැක්වූ හමාස් සංවිධානය පැවසූයේ තම සංවිධානය එවැන්නකට කිසිසේත් සූදානම් නැති බවයි.

ඊශ්‍රායෙලය හා හමාස් සංවිධානය යන දෙපාර්ශවය අතර කඹ ඇදිල්ලේත්, ඔවුන් අතර ඇතිව තිඛෙන ගැටලූවට ස්ථීරසාර විසදුමක් සොයාදිය නොහැකිව ලත වන එක්සත් ජාතීන් ඇතුලූ මැදහත් පාර්ශවයන්ගේ ක්‍රියාකලාපයත් නිසා ගැටුම් තව තවත් වර්ධනය වෙමින් පවතී.

ගැටුම් ඇතිවීමට හේතු සාධාරණීකරණය කිරීමට ඊශ්‍රායෙලය හා හමාස් සංවිධානය දෙපාර්ශවයටම හැකිවූවත් වන්දි ගෙවමින් සිටින්නේ සාමාන්‍ය ජනතාව බව ඔවුන්ට අමතකව ගොස් ඇති සෙයකි.