මීට වසර හතරකට පෙර අතුරුදන් වූ එම්එච්370 මැලේසියා ගුවන් යානයේ සෙවුම් කටයුතු සිදුකරන අතරතුර ඉන්දියන් සාගරයේ තිබී 19 වන ශතවර්ෂයේදී මුහුදේ ගිලීගිය වෙළඳ නෞකා දෙකක සුන්බුන් සොයා ගැනීමට හැකිවී ඇතැයි පර්යේෂකයෝ පවසති. 
 
ඕස්ට්‍රේලියාවට බටහිරින් කිලෝමීටර් 2300ක් පමණ දුරකදී මෙම නෞකා හමුවී ඇති අතර පසුව සොයාගෙන ඇත්තේ මේවා බ්‍රිතාන්‍යයට අයත් ගල් අඟුරු ප්‍රවාහන නෞකා බවයි. 
 
2015  වර්ෂයේදී ඉන්දියන් සාගරයේ‍ මෙහෙයුම් සිදුකරන අතරතුර මුහුදු පත්ල ගවේෂණය කරන සෝනාර් උපකරණ වලට මේ තොරතුරු ලැබී ඇති බවත් ඉන්පසු සිදුකළ වැඩිදුර අධ්‍යයනයන් මගින් මෙම එක් නෞකාවක් රුවල් තුනකින් සමන්විත යකඩින් සාදන ලද එකක් බවත් හෙළි වී ඇත.
 
මුහුදු පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙය කාර්යමණ්ඩලයේ 28 දෙනකු සමඟ බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කිරීමේදී අතුරුදන්වූ "වෙස්ට් රිග්" නෞකාව වීමට පොහෝ සෙයින් ඉඩ ඇති බවයි.
 
අනෙක් නෞකාව ඊට කිලෝමීටර් 36ක් දුරින් හමුවී ඇති අතර එය ලී බඳකින් යුක්තය. ඕස්ට්‍රේලියාව, චීනය හා මැලේසියාව එක්ව සිදු කළ මෙම මෙහෙයුම යානය පිළිබඳ කිසිම තොරතුක් නොලැබීම හේතුවෙන් 2016 වර්ෂයේදී අසාර්ථක මෙහෙයුමක් ලෙස අවසන් කෙරිණි.
 
(බීබීසි පුවත් ඇසුරිණි - 085)