ග්වාතමාලාවේ සිට නීති විරෝධීව තම රටට ඇතුළු වූ 800ක පමණ පිරිසක් රඳවාගත් බව මෙක්සිකෝ බලධාරීහු පවසති.

මධ්‍යම ඇමරිකානු රටවල සිට පැමිණෙන මෙම සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා ඇමරිකානු දේශ සීමාවට ගමන් කිරීමේ අරමුණින් යන පිරිස් වන අතර මොවුන්ගේ නෛතික තත්ත්වය විසඳිය නොහැකි නම් නැවත ඔවුන්ගේ මව් රටවලට හරවා යවන බව බලධාරීහු වැඩිදුරටත් පවසති.
 
 සංක්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝවට දැඩි බලපෑම් එල්ල කිරීම හේතුවෙන් මෙක්සිකෝ බලධාරීන් සංක්‍රමණිකයන්ට එරෙහි ක්‍රියාමාර්ග දැඩි කර ඇති බව සඳහන් වේ.
 
 මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකානු රටවල් සංක්‍රමණික ප්‍රවාහයන් පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ආර්ථික වශයෙන් දඬුවම් කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා තර්ජනය කර ඇතැයි පැවසේ.
 
 සමහර සංක්‍රමණිකයන්ට මෙක්සිකෝවේ සරණාගත ඒජන්සියේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා පෝරම ලබා දී ඇති අතර අලුතින් පැමිණි සියගනනක් සංක්‍රමණිකයන් වහාම පිටුවහල් කළ බව මෙක්සිකෝ විදේශ ඇමති මාර්සෙලෝ එබ්‍රාඩ් පවසයි. බොහෝ සංක්‍රමණිකයන් පවසන්නේ ආර්ථික දුෂ්කරතා සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පලා යන බවයි.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)