ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම මෙම වසරේ දී වාර්තාගත ලෙස වැඩිවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.

එම හේතුවෙන් ලෝකයේ මුහුදු මට්ටම මිලිමීටරයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පවසති.

ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණය මෙන් හත් ගුණයකින් විශාල වන අතර කිලෝමීටර් 2-3ක ඝනකමින් යුක්ත වේ.

මෙහි මිදුණු ජලය ගබඩා වී ඇති අතර සම්පූර්ණ අයිස් තට්ටුවම දියවී ගියහොත් මුහුදු මට්ටම මීටර් 7කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.

මුහුදු මට්ටම ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ යෑම පවා පහත් භූමි ප්‍රදේශ සහිත රටවල් වලට බරපතල ගැටලු ඇති කරන බවත් ලෝකයේ මිලියන ගණනක් ජනතාව එයින් පීඩාවට පත්වෙනු ඇති බවත් විද්‍යාඥයෝ සඳහන් කරති.

බංගලාදේශය, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය, එංගලන්තයේ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ලොව වටා බොහෝ පහත් භූමි වලට  මුහුදු මට්ටම ඉහළ යෑමෙන් දැඩි බලපෑම් ඇතිවන බව හඳුනාගෙන ඇත.

විද්‍යාඥයින් පවසන්නේ 2002 වර්ෂයේ සිට මේ දක්වා ග්‍රීන්ලන්ත අයිස් තට්ටුවෙන් අයිස් ටොන් ට්‍රිලියන හතරක් පමණ දියවී ගොස් ඇති බවයි.

(බීබීසී ඇසුරිණ - 085)