ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිවසක ඇතිවූ ගින්නකින් ළමයින් 7 දෙනෙක් මියගිය බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

ගිනිනිවීම් සේවා කොමසාරිස් ඩැනියෙල් නිග්රෝ පැවසුවේ මියගිය ළමුන් වයස අවුරුදු 5 ත් 15 ත් අතර වයස් වල පසුවු අය වන බවයි.

ළමුන්ගේ මව යැයි සැකකරණ කාන්තාවක් හා තවත් තරුණියක් පළමු මහළේ ජනේලයකින් පැනගොස් ගින්නෙන් බේරි ඇතත් පිලිස්සුම් තුවාල සහ දුම ආග්‍රහණය කිරීමේ හේතුවෙන් බරපතල තත්වයෙන් රෝහල් ගත කර සිටිති.

නිග්රෝ මහතා විසින් කැඳවනු ලැබු ප්‍රවෘත්ති සාකච්චාවකදී පවසා ඇත්තේ නිවියෝර්ක් නගරයේ වසර හතකින් ගින්නකින් සිදුවූ විශාලත ම අනතුර මෙය බවයි.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජිම් ලෝන්ග්ට අනුව ගින්න නිවීමට ගිනි භටයන් 100ට වැඩි පිරිසක් යොදා ගෙන ඇත. මුළුතැන්ගෙයි විදුලි උඳුනක කාන්දුවක් ගින්නට හේතුව වන්නට ඇතැයි සැකකරයි.

උඩු මහලේ සිටි අයට පිටතට යාමට තිබූ එකම මාර්ගය වූ තරප්පුපෙල ගිනි ගැනීම හේතුවෙන් ඔවුන් උඩු මහළේ කොටුවන්නට ඇතැයි ද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

දුමක් ඇතිවූ විට ක්‍රියාත්මකවන අනතුරු හැඟවීමේ සංඥා නිවසේ සවිකැර තිබුණ ද ඒවා ක්‍රියාත්මක වූ බවට ද කිසිදු සාක්ෂියක් නැතැයි ගිනිනිවීම් සේවා ඒකකය සඳහන් කරයි.