විවිධාකාරයේ විශ්වාසයන්ගෙන් අන්ධව සිටින අයිඑස් අන්තවාදීන්ට කාන්තාවක අතින් මරණයට පත්වීම යනු මහත් බියගෙන දෙන්නක් බව පැවසේ.

ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව කාන්තාවක අතින් මරණයට පත්වුවහොත් ඔවුනට සුරලොව අකැපය.

මෙය තමන්ගේ වාසියට යොදාගෙන සිටින කුර්දි සටන්කාමිීහු දැන් කාන්තා සේනාංකයක්ද පිහිටුවාගෙන සිටින අතර එම කාන්තාවෝද තම පිරිමි සගයින් හා එක්ව හරි හරියට සටන් වැදෙති.

වයි.පී.ජේ ලෙස හැදින්වෙන මෙම සේනාංකයේ සිටින්නේ  ස්වේච්ඡුාවෙන්ම බැදුණු කාන්තාවෝය.ඔවුන් අතර වෛද්‍ය සිසුවියන්,නීති සිසුවියන්,ගෘහණියන්,තරුණියන් ආදී සියල්ලෝ සිටිති.

මේ දිනවල අයිඑස් අන්තවාදීන් හා දරුණුවට සටන් ඇවිලෙන සිරියාවේ කොබේන් නගරයේ ඔවුහු සටන්වැදී සිටින්නෝය.අයිඑස් අන්තවාදීන්ගේ ග‍්‍රහණයට ලක්වීමට වඩා මරණය කැපයැයි සිතා සිටින ඔවුන් නගරය ගලවා ගැනීමේ බලාපොරොත්තු වියැකී ගියහොත් සියපණ නසාගැනීමට පවා සූදානම්ය.

කොබේන් නගරයට මේ දිනවල ලෝකයේම අවධානය යොමුව තිබේ.නගරය වටා කඳවුරු බැඳගෙන සිටින අයිඑස් අන්තවාදීහු නොනවත්වාම නගරයේ ස්ථානගතවී සිටින කුර්දි සටන්කාමිීන්ට ප‍්‍රහාර එල්ල කරන අතර රැයක දවාලක වෙනසක් නොමැතිව දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලේ.

ඇමරිකාවද අයිඑස් ඉලක්ක වලට ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිටී.එසේවුවත් කුර්දි සටන්කාමිීන්ගේ අදහස වන්නේ අන්තවාදීන් මර්දනය කිරීමට ගුවන් ප‍්‍රහාර පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි.

නගරය වටලා සිටින අන්තවාදීන් නිසා කිසිවෙකුටත් නගරයට ඇතුල්වීමට හෝ පිටවීමට නොහැකි අතර මෙනිසා ආහාර ද්‍රව්‍ය සපයාගැනීම අතිශයින් දුෂ්කර වෙමින් පවතින බව සඳහන්ය.

මෙවන් තත්ත්වයක මුදල් වලට අගයක් නොමැති හෙයින් කොබේන්හි වැසියෝ ඔවුන් සන්තකයේ ඉතිරිව ඇති ආහාර ඔවුනොවන් අතර හුවමාරු කරගනිමින් සිටිති.නමුත් මෙසේ කවදා වන තෙක් සිටිය හැකිදැයි සැක සහිතය.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයද උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ඉක්මන් පියවර නොගතහොත් 1995 වසරේ බොස්නියාවේ සිදුවූ පරිදි මහා මිනිස් සංහාරයක් නැවත වරක් අත්දැකීමට සිදුවනු ඇති බව ප‍්‍රකාශ කර ඇත.

තත්ත්වය කෙතරම් දරුණු වුවද කොබේන්හි සිරවී සිටින 13000 ක් පමණ වන වැසියෝ බලාපොරොත්තු අතහැරීමට සූදානම් නැත.නිදහස පතා අවසාන එකා දක්වා සටන් වැදීමට ඔවුන් සූදානම්ය.නමුත් එසේයැයි කියා ඇස් කන් පියාගෙන සිටීමට ලෝකයාට හැකියාවක් නොමැත.දේශපාලන අරමුණු තකා මිනිස් ජීවිත සමග කරන සෙල්ලම් නවතා දැමිීමට කාලය පැමිණ ඇත.

1413584817270_wps_28_From_Jamie_Wiseman_16_10_ 1413617403441_Image_galleryImage_From_Jamie_Wiseman_16_10_