ගුජරාට් ප‍්‍රාන්තයේ අහමෙදාබාද්, සුරාත්, මෙහ්සානා, විස්නගර් හා උන්ජා ඇතුළු නගර රැසකට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද, නීතිය හා සාමය සුරැකීමට කැරලි මර්දන ඒකක යොදවා ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ප‍්‍රාන්තය පුරා දැඩි ලෙස ප‍්‍රණචණ්ඩ කි‍්‍රයා සිදුවෙමින් පවතින අතර, වැඩිපුර හමුදා ඒකක හා කැරලිමර්දන ඒකක ලබාදීමට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ගුජරාට් ප‍්‍රාන්ත මහ ඇමැතිනි ආනන්දි පටෙල්ට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.

මෙලෙස ගුජරාටය පුරා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූයේ, ප‍්‍රාන්තයේ පටෙල් ප‍්‍රජාවට රැකියා හා අධ්‍යාපන කටයුතුවලට ප‍්‍රවේශවීමට වැඩි  අවස්ථාවක් දෙන්නැයි කියමින් කරන ලද උද්ඝෝෂණ අතරතුරේදී හර්දික් පටෙල් නැමැති 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමත් සමඟය. බස් රථ 50කට වැඩි ගණනකටත්, රාජ්‍ය දේපොළවලටත් ප‍්‍රචණ්ඩකාරී පිරිස් හානි කර ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි. පොලිසිය උද්ඝෝෂකයන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගැනීම ඊට හේතුවිය.

උද්ඝෝෂකයන්ට පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් අවශ්‍ය යැයි ද ජනතාවට සාමයෙන් කටයුතු කරන්නැයි ද ගුජරාට් ප‍්‍රාන්ත ප‍්‍රධාන ඇමැතිනි ආනන්දබෙන් පටෙල් පවසා ඇත.

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවන ආකාරයට හැසිරුණු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව අහමෙදාබාද් පොලිස් කොමසාරිස් ෂිවනන්ද ජහ්යා ද පවසා ඇත.

ඉන්දියාවේ අදායම් මාර්ගයක් වන දියමන්ති කැපීම ඔප දැමීම සිදුකරන්නෝ පටෙල්වරුය. ගුජරාටයේ බොහෝ පොහොසත් ව්‍යාපාරිකයෝත් ගොවියෝත් දියමන්ති කර්මාන්තයේ නියැළෙන්නෝය.