2015 වසරේ විශ්ව රූ රැජින තේරීමේ තරගය පෙරේදා (20) ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණු අතර, විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ පිලිපීනය නියෝජනය කළ 26 හැවිරිදි පීයා ඇලොන්සෝ සුරූපිනියයි.

මෙවර විශ්ව රූ රැජින තරගාවලියේ නිවේදකයා ලෙස කටයුතු කළේ හොලිවුඩයේ ප්‍රහසන රංගන ශිල්පී වන ස්ටීව් හාර්විය. ජයග්‍රාහිකාවගේ නම ප්‍රකාශයට පත් කරද්දී, හාර්වි වැරදීමකින් පීයා ඇලොන්සෝගේ නම වෙනුවට දෙවැනි ස්ථානයට පත් කොලොම්බියා සුරූපිනියගේ නම ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඔල්වරසන් මැද කිරුළු පැළැඳි කොලොම්බියා සුරූපිනිය ඒඩ්රියාන් ගුටියරේස් මිනිත්තු දෙකක් පමණ ජයග්‍රහණයේ ප්‍රීතිය සමරද්දී, පිලිපීන සුරූපිනිය ඇයට දෙවැනි ස්ථානය ලැබිණැයි සිතා වේදිකාවේ මුල්ලකට ගියාය.

එම අවස්ථාවේදී, තමා අතින් සිදුවුණු වරද නිවැරදි කිරීමට ස්ටීව් හාර්වි කටයුතු කළේය. ඔහු විනිසුරුවරුන් දුන් ජයග්‍රාහිකාවගේ නම සඳහන් කාඩ්පත ද සැමට පෙන්නුවේය. එම අවස්ථාවේදී ගුරියරේස්ගේ මුහුණ අඳුරු වී ගිය බව දකින්න ලැබු‚.

ඒ අනුව, ඒඩ්රියාන් ගුටියරේස්ට පැළැදූ විශ්ව රූ රැජින කිරුළ පීයා ඇලොන්සෝ ට පැළැඳවීම සිදුවිය. එය සිදුවූයේ 2014 වසරේ විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි පොලීනා වේගා අතිනි. සිදුවුණු ‘නම් මාරු වීමේ ජංජාලය‘ ගැන තමන් ද පුදුමයට පත් වීයැයි පොලීනා ද පැවැසුවාය.

‘මට සමාවෙන්න, වරද මගේ.‘ යැයි සිදුවුණු වරද වෙනුවෙන් යළිත් වරක් රැස්ව සිටි පිරිසෙන් සහ ලොව පුරා ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයන්ගෙන් ද හාර්වි ඉල්ලා සිටියේය. ඉන්පසු සිය ටිව්ටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ද හාර්වි දිගින් දිගටම සමාව ඇයැද සිටියේය.

විශ්ව රූ රැජින තරගයේ තෙවැනි ස්ථානයට පත් වූයේ ඇමෙරිකන් සුරූපිනි ඔලීවියා ජෝර්ඩන්ය. 

ජයාග්‍රාහිකාව වුණු පීයා ඇලොන්සෝ 26 හැවිරිදි සුරූපිනියකි. ඇය නිරූපිකාවක, නිවේදිකාවක පමණක් නොව සූපවේදිනියකි. 

ලාස් වේගාස්හිදීය (ඒ.එෆ්.පී.)

missuniverse_43201512212 missuniverse_43201512212-2 missuniverse_43201512212-3