වසර පහක්  තලේබාන් අත්අඩංගුවේ සිටි ඇමරිකා ජාතික සොල්දාදුවෙකු නිදහස් කරගැනීම ඇමරිකා ජනපති බරක් ඔබාමාට පාරා වළල්ලක් වී තිබේ.

බෝවේ බර්ග්ඩාල් නම් වන මෙම හමුදා භටයා ඇෆ්ගනිස්ථානයේ ස්ථාන ගත කර සිටි සැරයන්වරයෙකි.

ඔහුගේ සගයින් පවසන ආකාරයට කම්මැලියැයි පවසා දිනක් කඳවුරෙන් පිටව ගොස් ඇති හෙතෙම තලේබාන් අන්තවාදීන්ගේ අතට පත් විය.

එදා සිට වසර පහක් තිස්සේ තලේබාන් ග‍්‍රහණයේ සිටි ඔහු ඔබාමා පාලනය මැදිහත්වී නිදහස් කර ගත්තේ පසුගියදාය.ඔහු නිදහස් කර ගැනීමට ගුවන්ටානාමෝ බේ සිර කදවුරේ සිටි තලේබාන් සංවිධානයේ ප‍්‍රධාන පෙලේ සටන්කාමින් පස් දෙනෙකු තලේබාන් සංවිධානය වෙත භාරදීමටද සිදුවිය.

බොවේ ඇමරිකා හමුදා භටයින් අතට භාරදෙනු දැක්වෙන් වීඩියෝ පටයක්ද අන්තර්ජාලය වෙත එක්කිරීමට තලේබාන් සංවිධානය කටයුතු කර ඇති අතර බියපත් මුහුණුවරකින් යුතු සැරයන් බෝවේ තමන්ගේම සගයින් වෙත යළි පැමිණෙනු එහි දැක්වේ.තලේබාන් සංවිධානයේ සාමාජිකයින් දුසිමක් පමණ ඔහු වටා අවි ගෙන රැකවල්ලාගෙන සිටින අතර ඇමරිකා හමුදා හෙලිකොප්ටරයට නැගී ඔහු පිටව යාමට ප‍්‍රථමයෙන් තලේබාන් සාමාජිකයින්ගෙන් අයෙක් ‘‘නැවත ඇෆ්ගනිස්ථානයට නොපැමිණෙන්න.ආපසු ආවොත් ඔබට අත්වන්නේ මරණයයි‘‘ යැයි පවසනුද ඇසේ.

කෙසේවුවත් නොසිතූ පරිදි ඔබාමා පාලනයට කරුණු කිහිපයක් මුල් කරගෙන නැගෙන විවේචනයන් වලට මුහුණ දීමට සිදුව ඇත.මුල්ම කරුණ වන්නේ තමන් තලේබාන් අත්අඩංගුවේ පසුවන ඇමරිකා හමුදා භටයකු නිදහස් කරගැනීමට යන්නේ යැයි ඇමරිකා කොංග‍්‍රස් මණ්ඩලය දැනුම්වත් කිරීමට ජනපති ඔබාමා අතපසු කර තිබීමයි.

නීතියට අනුව එවැනි තිරණයක් ගැනීමට ප‍්‍රථමයෙන් කොංග‍්‍රස් මණ්ඩලය දැනුම්වත් කළ යුතු වන අතර මෙනිසා කොංග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් දැන් ජනපතිට චෝදනා නගමින් සිටින්නේ මේ සියල්ල පසුපස සැගවුණු යමක් ඇතැයි කියමිනි.අනෙක් කරුණ වන්නේ බොහෝ දෙනා සිතා සිටි පරිදි සාජන්ට් බෝවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෝ,බියපත්වී හෝ නොසිටීමයි.ඔහු වසර 5 ම තලේබාන් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ගතකර ඇති බවක් පෙනෙන්නේ යැයි ඇමරිකා හමුදා භටයින්ම චෝදනා කරන වාතාවරණයක් උද්ගතව තිබේ.

මෙනිසා ඔහු වෙනුවෙන් ප‍්‍රධාන පෙලේ තලේබාන් සංවිධාන සාමාජිකයින් පස් දෙනෙකු නිදහස් කර හැරීම නිරර්ථක කි‍්‍රයාවක් ලෙස ඔවුන් දකී.

චෝදනා වලට පිළිතුරු දෙමින් ජනපති බරක් ඔබාමා තමන්ගේ තීරණය සාධාරණීකරනය කරමින් පෝලන්තයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූයේය.

ඔහු පැවසුවේ බෝවේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මතුවන්නට ගත් සැක සංකා නිසාවෙන් ඉක්මනින් කි‍්‍රයාත්මක වන්නට සිදුවූ බවයි.

තලේබාන් සංවිධානයේ සාමාජිකයින් පස් දෙනෙකු නිදහස් කිරීම අවදානම් සහගත කි‍්‍රයාවක්යැයි තමන් දන්නා බවත් මෙනිසාවෙන්ම ඔවුන් නිදහස් කර හැරුණද ඇමරිකාව ඔවුන් ගැන නිරතුරුව විමසිල්ලෙන් සිටිනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.