පැහැදිලි එකඟතාවකට පැමිණිය නොහැකි වුවහොත් ලබන වසරේ ඉරානයට එරෙහි යුද්ධය යළි ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මෙසේ කීවේ ඇමෙරිකන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ පාලක රිපබ්ලිකන් පක්ෂයට බහුතර බලය අහිමි වුවත්, තවමත් ඇමෙරිකාව සහ ඉරානය අතරේ යුද උණුසුමක් පවතී. 

ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් වසා දමා ඇති අතර, ඉරානයට හිතවාදී රටවල නෞකාවලට පමණක් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අවසර දී ඇත. හෝමූස් හරහා යාත්‍රාවල බටහිර වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල වන බව ද වාර්තා වේ.

පවතින අර්බුදය අවසන් කිරීමට ඉරානය යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එම  යෝජනා සහ කොන්දේසි ට්‍රම්ප් පරිපාලනය ප්‍රතික්ෂේප කර ඇත. ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම යෝජනා ඉරානය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.