(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික සංචාරකයින්ට වීසා රහිතව දින 30ක කාලයක් තායිලන්තයේ රැදී සිටීමේ පහසුකම යළි ලබාදීමට අදාළ ගිවිසුම ඉකුත් ඉරිදා අත්සන් කළ බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිතව දින 30ක කාලයක් එරට රැදී සිටීමේ පහසුකම ක්‍රියාත්මක වීමට තවත් දින 60ක පමණ කාලයක් ගතවනු අැතැයි කී හෙතෙම ශ්‍රී ලාංකික සංචාරකයින්ට 2027 ජනවාරි මැද භාගයේ සිට එම අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබද විවාදයේදීය.

අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30ක් සඳහා ලබාදී ඇති වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමේ පහසුකම අත්හිටුවීමට තායිලන්ත රජය පසුගියදා තීරණය කළා.

එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස නව වීසා රහිත ප්‍රවේශ ගිවිසුමකට දෙරට එළැඹෙනවා.

කෙසේ වෙතත්, ගිවිසුම අත්සන් කිරීමත් සමග එම පහසුකම ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ සඳහා දින 60ක පමණ කාලයක් අවශ්‍ය වෙනවා. මෙම එකඟතාවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු පහසු කිරීමට මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා.

වීසා රහිත ප්‍රවේශ පහසුකම ක්‍රියාත්මක වන නිශ්චිත දිනය මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ. එතෙක් තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකිකයින් දැනට බලපැවැත්වෙන වීසා නීති අනුගමනය කළ යුතු වනවා.