ඉන්දියා  පාලනයේ පවතින කාශ්මීර ප්‍රදේශයේ ඉන්දීය හමුදා කඳවුරකට සටන්කාමීන් කළ පහරදීමකින් හමුදා සාමාජිකයෝ 17 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. 

ප්‍රහාරයට සටන්කාමීන් සිව් දෙනකු පැමිණි බවත් ඔවුන් සියලු දෙනා හමුදා වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා විය. පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි යුරි හමුදා කඳවුරට මෙසේ ප්‍රහාර එල්ල වී ඇති අතර ප්‍රහාරකයන් සතුව තුවක්කු හා අත් බෝම්බ ද තිබී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානය ත්‍රස්තවාදී රාජ්‍යයක් බව ඉන්දියා  ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර තිබුණි. 

මෙම ප්‍රහාරය දශක දෙකකට පසු ආරක්ෂක අංශ වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  අර්බුදකාරී කලාපයේ ඉන්දියානු පාලනයට එරෙහිව ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මධ්‍යයේ මෙම ප්‍රහාරය එල්ල වූ අතර ප්‍රහාරය එල්ල වන විට ඇඳිරි නීතිය ද පනවා තිබුණි. 

මාස දෙකක පමණ සිට පවතින ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 80 දෙනකුට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇත.

එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකුත් බාරගෙන නොමැති අතර පාකිස්තානයට එල්ල වන චෝදනා එරට රජය විසින් ප්‍රතික්ෂේප කැරිණි.

“මෙය පැරැණි උපක්‍රමයක්. ඉන්දියාව සෑමවිටම කිසිදු විමර්ශනයකින් තොරව පාකිස්තානයට චෝදනා කරනවා” යැයි පාකිස්තාන විදේශ අමාත්‍ය නෆීස් සකාරිය ප්‍රකාශ කර තිබුණි.