කාශ්මීරයේ ප්‍රධාන බෙදුම්වාදී සටන්කාමී හමුදා නායකයකු ඝාතනය වීමත් සමග එම ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගැටුම්වලින්    16 දෙනෙක් මිය ගොස් 200ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.

සමාජ ජාල ක්‍රියා නිසාවෙන් ප්‍රසිද්ධියට පත් බුර්හාන් වානි(22) නම් ඔහු ඉන්දීයා හමුදා සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ. ඔහු කාශ්මීරයේ විශාලතම සටන්කාමී කණ්ඩායමේ අණදෙන නිලධාරියා ද විය. බුර්හාන්ගේ අවමංගල්‍ය කටයුතු සදහා දහස් ගණනක් පැමිණි අතර අවසන් කටයුතු අවසන් වීමත් සමග කාශ්මීරයේ ඉන්දීය හමුදා වලට සහ පොලිස් ස්ථාන වලට පහර දීම ආරම්භ විය.

ඒ සමගම එම ප්‍රදේශයේ ඇඳරි නිතිය පැනවු බවත්, සන්නිවේදන ජාල අවහිර කළ බවත් මාධ්‍ය වාර්තා කරයි. කැරලි මර්දන නිලධාරීහු දහස් ගණනක් එම ප්‍රදේශයට යොදවා ඇත.

මෙම සිදුවීම වසර ගණනාවකට පසු වාර්තා වූ ප්‍රබලතම ගැටුම්කාරී තත්ත්වයක් වන අතර මෙම තත්ත්වය පාලනය නොකළහොත් තවත් ජිවිත රැසක් අහිමි විය හැකි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.