මාධ්‍යවේදී ජමාල් කශෝග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට විශ්වාසනීය සාක්ෂි ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ස්වාධීන විශේෂඥයෙක් අද (19) අනාවරණය කළාය.

මේ අනුව ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි ද ඇය ඉල්ලා සිටියාය. අනීතික, ලුහුඬු හෝ අභිමතානුකූල හෝ අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇග්නස් කැලමාඞ් සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කළාය.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මාධ්‍යවේදී ජමාල් කශෝග්ජි ඝාතනයට සම්බන්ධ බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ඇය අනාවරණය කළාය.

එම නිසා මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවත් ඇය සඳහන් කළාය.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇග්නස් කැලමාඞ් මාධ්‍යවේදී ජමාල්ගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වරදකරුවකු කර නොමැත. එහෙත් ඔටුන්න හිමි කුමරු මාධ්‍යවේදී ජමාල් ඝාතනයට සම්බන්ධ බවට විශ්වාසනීය තොරතුරු ඇති බවට ඇය සිය වාර්තාවේ සඳහන් කර ඇත.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජි ඇමෙරිකාවේ “වොෂින්ටන් පෝස්ට්” පුවත්පතේ තීරු ලිපි රචකයකු වූ අතර සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ අයෙකි. හෙතෙම පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය කෙරුණි.

ඒ.එෆ්.පී. ඇසුරිනි

055