සෝල්හිදීය (රොයිටර්)
 
කල් දමන ලද ඒකාබද්ධ යුද අභ්‍යාස කඩිනමින් පවත්වන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා අද (20) ප්‍රකාශ කළේය.  

 
ශීත ඍතු ඔලිම්පික් උළෙල හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීය. කල් දැමුණු එම යුද අභ්‍යාස පවත්වන දින සහ සැලසුම් අප්‍රේල් මාසයට පෙර නිවේදනය කරන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා අද (20) කීවේය. 
 
ශීත ඍතු ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල  දකුණු කොරියාවේ මේ වනවිට පැවැත්වෙමින් තිබෙන අතර ඒවා අවසන් වීමට නියමිතව ඇත්තේ මාර්තු 18 වැනිදාය.  ශීත ඍතු ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල නිසා වාර්ෂිකව පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟත්වය පළ කළේය. 
 
ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීමට ගත් තීරණයට එකඟවීමත් සමඟ වසර දෙකකට පසුව උතුරු කොරියාව දකුණු කොරියාව හා සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් ද සහභාගී විය.  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සමඟ සාකච්ඡා කර කඩිනමින් ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය සොන්ග් යන්ග් මූ පැවසීය.
 
“ඔලිම්පික් උලළේ ජීව ගුණය පවත්වාගෙන යෑම සඳහා අපි ඒකාබද්ධ යුද මෙහෙයුම් කල් දැමුවා. මාර්තු 18 වැනිදා ක්‍රීඩා උලෙළු දෙක අවසන් වීමට නියමිතයි. ඉන් අනතුරුව අපි ඉදිරි සැලසුම් නිවේදනය කරනවා. මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ යුතු” යැයි හෙතෙම කීය.
 
මේ අතර කල් දැමූ ඒකාබද්ධ යුද අභ්‍යාස පැවත්වුවහොත් පැත්තකට වී බලා නොසිටින බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීය. 
 
055